බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්

 

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ රාජ්‍ය බැංකුවකට එරෙහිව ලංකා පොහොර සමාගම කල ඉල්ලීමකට අනුව , කොළඹ වානිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සමාගම් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා අදාළ රාජ්‍ය බැංකුවට කිසිදු ගෙවීමක් සිදු කිරීමට හැකිවන්නේ නැහැ.

චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට ඒ යටතේ ගෙවීම් ලබා ගැනීම ද මෙමගින් අත්හිටුවා තිබෙනවා.

ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වියහැකි බව සිය නැව් උපදෙස් (shipping advice) වලදී සමාගම පිළිගෙන ඇති බවයි.

ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබුණා.

මෙම පොහොර තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක (shipment) කොටසක්.

 

 

Share This