බී ළුණු ගොවීන්ට ඇඬෙන්න ළඟයි – කදුළු පිසින්න ආණ්ඩුවේ ඇමතිවරුන් සොයයි

බී ළුණු ගොවීන්ට ඇඬෙන්න ළඟයි – කදුළු පිසින්න ආණ්ඩුවේ ඇමතිවරුන් සොයයි

බී ළුණු මිල අධික ලෙස පහත වැටීම නිසා බී ළුණු වගා කළ උතුරු මැද පළාතේ සියලුම ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුව අද (11) මහවැලි එච් කලාපයේ බී ළුණු වගාකළ ගොවින් හබරණ පලුගස්වැව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බී ළුණු අරං ගිය පසු කිලෝවක් රුපියල් සියයට අඩු මුදලකට ලබාගන්නා බවත් එහි ස්ථීර මිලක් නොමැති බවත් වෙළෙඳුන් හිතු හිතු ගණන් කීම නිසා ගොවීන්ට තුට්ටු දෙකට මේ බී ලූනු ලබා දී පැමිණීමට සිදුවීම නිසා තමන් දැඩිව පීඩාවට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුව පවසන්නේ රුපියල් 70/85/90 වැනි මිල කාණ්ඩ යටතේ බි ළුණු මිලට ගැනීම නිසා තමන් දැඩිව අසරණ තත්ව‍යට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව බි ළුණු වගා කරන ප්‍රදේශවල ගොවීන් මහවැලි අධිකාරියේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළත් රජයත් සමඟ සාකච්ඡා කර ඊට විසඳුමක් ලබා ගන්නා ලෙස ඔවුන් උපදෙස් දුන් බවද බී ළුණු ගොවීන් පවසනවා.

ගොවීන් සඳහන් කරන්නේ තමා වගාකල බී ළුණු වලට නිසි මිලක් ගැනීමට නොහැකිව ඒවා කුණු වී යන තත්ත්වයක් උදාවී ඇති බවයි.

ගිය කනට වඩා සාර්ථක වගාවක් කර ගැනීමට මහවැලි අධිකාරිය තමන් උනන්දු කළ නමුත් සරු අස්වැන්නක් ලැබී තිබියදීත් ඒවා අලෙවිකර ගැනීමේදී කිසිවකු මැදිහත් නොවන බවත් ගොවීන් පවසනවා.

ජාතික එළවළු වගා කරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා සඳහන් කරන්නේ රටේ බී ළුණු ගැලවෙන අවස්ථාව ආසන්නව තිබිය දී ආනයනික බී ළුණු ගෙන්වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.

සතොස මගින් බී ළුණු මිල දී ගන්නේ කිලෝ 6000 කින් කිලෝ දෙදහසක් පමණක් නිසා එය ද ගොවීන්ට ඵලදායී නොවන බව ඔවුන් පවසනවා.

 

 

Share This