බුර්කාවට සැඟවී කවියෙන් තලේබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන් (VIDEO)

බුර්කාවට සැඟවී කවියෙන් තලේබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන් (VIDEO)

2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වූ පසු ඇෆ්ගනිස්ථානයේ මිලියන සංඛ්‍යාත කාන්තාවන් නව පාලන තන්ත්‍රය නිසා පීඩාවට පත්වන ආකාරය ගැන ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

කාන්තාවන්ගේ නිදහස සීමා කෙරෙන ආකාරය දෙස බලා සිටිමින් ඔවුන්ට නිකම්ම නිකම් සිටිය නොහැකි බව තීරණය කළ ඔවුහු තම කටහඬේ බලය රහසේ යොදා ගනිමින් ප්‍රතිරෝධය දැක්වීමට පටන්ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සංගීතඥයන් අත්අඩංගුවට ගන්නා රටක තමන්ව ලොකු අනතුරකට ඇදදමා ගනිමින් ඇෆ්ගනිස්ථානයේ සහෝදරියන් දෙදෙනෙක් ලාස්ට් ටෝර්ච් (Last Torch) නමින් සමාජ මාධ්‍යවල ගායන ව්‍යාපාරයක් ආරම්භ කළා.

“අපි මෙය ගායනා කළ පසු අපගේ ජීවිත අහිමි විය හැකියි” ලෙස ඔවුන්ගෙන් එක් අයෙක් තනුව ආරම්භ කිරීමට පෙර පවසා තිබෙනවා.

එය තලේබාන් අත්පත් කර ගැනීමෙන් දින කිහිපයකට පසු 2021 අගෝස්තු මාසයේදී නිකුත් කරන ලද අතර එම වීඩියෝ ඉක්මනින් ෆේස්බුක් සහ වට්ස්ඇප් පුරා හුවමාරු වුණා.

නැවත බලයට පත්වීමෙන් පසු, ඇෆ්ගනිස්ථානය සඳහා තම අද්විතීය දැක්ම ක්‍රියාත්මක කිරීමට තලේබාන් සංවිධානයට ගත වූයේ දින 20කටත් අඩු කාලයක්.

එදිනෙදා ජීවිතයට ෂරියා නීතිය පැනවීම සහ කාන්තාවන්ගේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සීමා කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතා අතර වුණා.

කාන්තාවන් මේ අසාධාරණයට විරුද්ධ වීමට කාබුල් සහ අනෙකුත් ප්‍රධාන නගර වීදිවල විරෝධතාවලද නිරත් වූ බව සඳහන්.

ඒ පාලනයට විරුද්ධව හඬක් නැගීමට අවශ්‍ය වූ නිසා Last Torch නමින් රහසිගත් සංගීත ව්‍යාපාරය මොවුන් දෙදෙනා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම යුවළ ඉක්මනින්ම පළමු ගීතය මෙන්ම නිල් බුර්කා යට සිට ගායනා කරන ලද අනෙකුත් ගීත නිකුත් කර තිබෙනවා.

ඔවුන් ගැයු ගීතය 1996 දී ප්‍රථම වරට තලෙයිබාන් අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් එය රචනා කළ දිවංගත නාඩියා අන්ජුමන්ගේ ප්‍රසිද්ධ කවියක්.

සහෝදරියන් මේ වන විට නිකුත් කර ඇත්තේ ගීත හතක් පමණක් වන නමුත් ඒ සෑම එකක්ම රට පුරා කාන්තාවන් සමග දැඩි ලෙස බද්ධ වී තිබෙනවා.

පසුව ඔවුන් ඔවුන්ගේම කවි, ගීත ලිවීමට පටන් ගත්තා.

ඔවුන්ගේ තේමාවන් වන්නේ කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයට එල්ල කර ඇති හුස්ම හිරකරවන සීමාවන්, ක්‍රියාකාරීන් සිරගත කිරීම සහ මානව හිමිකම් කඩකිරීම්ය.

ඇෆ්ගනිස්ථානයේ මිනිසුන්ගේ වේදනාව සහ අරගලය සහ පසුගිය වසරවල තලේබාන්වරුන් යටතේ ඔවුන් විඳදරාගත් ශෝකය කිසි ලෙසකින් කවියට නැගිය නොහැකි බවයි මේ සහෝදරියන් පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තලේබාන් සංවිධානය දැනට පවතින ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ස්ත්‍රී පුරුෂ භේදයට වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන බවත්, රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර මැදිහත්වීම් පිළිනොගන්නා බවත්ය.

Shaqayek සහ Mashal ඔවුන්ගේ ඊළඟ ගීත සඳහා වැඩ කරමින් සිටින අතර නිදහස සඳහා වන ඔවුන්ගේ සටනේදී ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ හඬ ප්‍රතිරාවය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Share This