බුර්කිනා ෆාසෝහිදී පැහැරගත් කාන්තාවන් නිදහස් කරන ලෙස ඉල්ලීම් රැසක්

බුර්කිනා ෆාසෝහිදී පැහැරගත් කාන්තාවන් නිදහස් කරන ලෙස ඉල්ලීම් රැසක්

ජනවාරි 12 සිට 13 දක්වා කාලය තුළ බුර්කිනා ෆාසෝහි උතුරු සෞම් පළාතේ පැහැරගත් කාන්තාවන් බොහෝ පිරිසක් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය , එක්සත් ජනපදය සහ ප්‍රංශය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසා තිබෙන්නේ බුර්කිනා ෆාසෝ හි කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි පැහැරගැනීම් ගැන තමා කම්පිත වූ බවයි.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ තමන්ද මේ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් ,පැහැරගෙන ගිය අය වහාම සහ කොන්දේසි විරහිතව ඔවුන්ගේ ආදරණීයයන් වෙත ආරක්ෂිතව ආපසු ලබා දිය යුතු බවත්ය

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශය මෙම පැහැරගැනීම් හෙළා දකින අතර කාන්තාවන් වහාම නිදහස් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

මෙම පැහැරගැනීම් පිටුපස තමන් සිටින බව කිසිදු කණ්ඩායමක් පවසා නැති නමුත් පැහැරගැනීම් සිදුවී ඇත්තේ සටන්කාමීන් ක්‍රියාත්මක වන ප්‍රදේශයක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This