බොරැල්ල ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ

බොරැල්ල ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ අටමහල් ගොඩනැගිලි සංකීර්ණය මෙම වසරේදී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 450ක මුදලක් වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340ක් වන අතර මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82ක් වනවා.

ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්‍යාස එකක ද මීට ඇතුළත්.

යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්ව විද්‍යාලවලින් ආයුර්වේද, සිද්ධි, යුනානි යන වෛද්‍ය කර්මයන් සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් 600ක් වෙනුවෙන් සායනික පුහුණුවීම් සඳහා වන පහසුකම් ද මෙම නව ගොඩනැගිලි සංකීර්ණය තුළින් සැලසෙනු ඇති.

Share This