බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 6 ඇරීමත් සමග පහළ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 6 ඇරීමත් සමග පහළ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ

කන්ද උඩරට ප්‍රදේශවලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවුල බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද(26) පෙරවරුවේ විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශයන් බොහොමයක් ජලයෙන් යට වී යාමට පටන්ගෙන තිබෙනවා.

උදෑසනක් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කෙරුණු අතර එයින් තත්පරයට ඝන අඩි, 10,000 ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරුණා.

බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ ඉදිරියේදී වර්ෂාව වැඩි වුවහොත් බෝතැන්න ජලාශයේ තවදුරටත් වාන් දොරටු එසවීමට සිදුවන බවයි.

අඹන් ගගේ ජලය පහළට ගලා බැසීමත් සමඟ අඹන පාලම හරහා වැටී ඇති මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම විශේෂත්වයක්.

වාන් දොරටු විවෘත වී පැයක පමණ කාලයක් ගතවෙද්දී එකවරම මාර්ගයේ පාලම ජලයෙන් වැසී ගියා.

අඹන් ගඟ දෙපස භාවිතා කරන ජනතාව ද දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, බෝතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා දන්වා සිටිනවා.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන්ගේ ගමන් පහසුව සඳහා බෝවතැන්න ජලාශය මතින් ඇති පාලම භාවිතා කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා.

Share This