මඩකලපුවේ ප්‍රථමවරට වගා කරන ලද දෙළුම් වගාවෙන් ආකර්ෂණීය ආදායමක්

මඩකලපුවේ ප්‍රථමවරට වගා කරන ලද දෙළුම් වගාවෙන් ආකර්ෂණීය ආදායමක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබෙනවා.

මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නොතිබුණු අතර මුහුදු සුළඟ සමඟ දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමන ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කර තිබෙනවා.

මෙම දෙළුම් විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂය බව සඳහන්.

අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට මෙම වගාව සිදු කර තිබෙන අතර ඊට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෙළුම් වගාවේ ගොවීන් කිහිපදෙනෙක් අක්කර භාගයක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වනවිට සිදු වෙමින් පවතිනවා.

මේ වනවිට රුපියල් මිලියන 3.5ක් අක්කර භාගයක දෙළුම් වගාවෙන් වැඩිම ආදායමක් උපයාගෙන තිබෙන අතර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාව දැනුවත් කර ඇති බව සඳහන්.

මඩකලපුවේ දෙළුම් වගාවෙන් පළමු අස්වැන්නෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වී ඇති අතර තවත් වසර 20ක් පමණ මෙම වගාවෙන් ආදායම් උපයා ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

වගාව අවසන් වන විට රුපියල් මිලියන 60ක් එක් ගොවි මහතෙකුට ආදායම් උපයා ගත හැකි බව ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහන් කරනවා.

Share This