මන්ත්‍රී නාමල් ගේ ” බැචිලර් ඔෆ් ලෝයර්ස් විත් ඔනර්ස් ක්ලාස් 3″ ගැන ඇමති නලින්ද ප්‍රශ්න කරයි

මන්ත්‍රී නාමල් ගේ ” බැචිලර් ඔෆ් ලෝයර්ස් විත් ඔනර්ස් ක්ලාස් 3″ ගැන ඇමති නලින්ද ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ නීතිඥභාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබාගත්ත ආකාරය , ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත්වීම පිළිබඳව වෙබ් අඩවි ගණනාවක ලිපි පළ කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ මෙරට ගවේශනෂීලී මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නන්ගර මහත්මිය මේ තොරතුරු හෙළිදරව් කර ඇති බවයි.

නාමල් රාජපක්ෂ සිටි යුනිවර් සිරි ආයතනයෙන් ලබාගත් සහතිකය ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් ක‍රඇති බවත්, ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා, ඒ උපාධි සහතිකය නිකුත් කර ඇත්තේ 2009 වසරේ සැප්තම්බර් 15 දින බව ද අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළා.

එම සහතිකයට අත්සන් තැබූ උපකුලපතිවරයා එම වසරේ ජූලි 23 වැනිදා ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ,එම උපකුලපතිවරයා ඉල්ලා අස්වී දින 54 කට පසු මෙම උපාධි සහතිකයට අත්සන් තැබීම ගැටලුවක් බව පෙන්වා දුන්නා.

දෙවන කරුණ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වීමට නීති විභාගයට පෙනී නොසිට අවසරය ලබා දෙන්නේ ලෝකයේ පිළිගත් නීති උපාධි ලබාදෙන ආයතන වලින් උපාධියක් ලබාගත් අයට පමණක් බවද මාධ්‍ය මගින් පෙන්වා දී ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

නමුත් මෙම සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ ලියාපදිංචි වී ඇත්තේ 2009 ඔක්තෝබර් 15 දා වුවද, නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත්වීමට අයදුම්කර ඇත්තේ 2009 සැප්තැම්බර් 25 දින බවත් අමාත්‍යවරයා එහිදී හෙළි කළා.

ඉල්ලුම්පත යොමුකළ දිනම නීති විද්‍යාලය එය බාර අරගෙන තිබෙන බවත් , අයදුම්පත් බාර ගැනීමේ දී හෝ නීති විද්‍යාලයට ඇතුලත්වීම සඳහා මෙම සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් ‍යන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළිඅරගෙන නොතිබූ බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නා.

නීති විද්‍යාලය එම සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් ආයතනය පිළිගෙන ඇත්තේ ඔක්තෝබර් 15 වැනි දින බවත් මාධ්‍ය මගින් පෙන්වා දී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

අදාල වාර්තාවල මේ පිළිබඳවත් අවධානය යොමුකර ඇතැයි ඔහු සඳහන් කළා.

තුන්වැනි කරුණ ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාම පවසන ආකාරයට ඔහු ලබා ඇති සහතිකයේ දැක්වෙන්නේ ” බැචිලර් ඔෆ් ලෝයර්ස් විත් ඔනර්ස් ක්ලාස් 3″  උපාධියක් බවයි.

තුන්වැනි පන්තියේ උපාධියක් ලබාගෙන එක්සත් ජාතීන්ගේ නීතිඥ මණ්ඩලවලට ඇතුලත් විය නොහැකි බව ඔහුගේ උපාධිය පිළිබඳ සැක මතුකරන වාර්තා පෙන්වා දී ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කරමින් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව ඉදිරියේ දී පැහැදිළි කිරීමක් කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

Share This