
මර්වින් සිල්වා ඇතුලු 3 කට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට අද ඇප හිමිවුණා.
ඒ මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ගම්පහ මහාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදීයි.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය මඟින් ඇප ලබාදී තිබෙනවා.
ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී, විජේරත්න මහතා ඉදිරියේ දී මෙම ඇප අයදුම්පත සලකා බැලුණු අතර, එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප 5ක් මත ඇප නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
එමෙන්ම විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනම් කිරීමට කටයුතු කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළා.
කෙසේ වෙතත් මර්වින් සිල්වා තවමත් බන්ධනාගාර ගතව සිටින අතර, ඔහු ලබන 07 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.