මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු  ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා .

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියට හා පොදුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සේවාවට බලපාන්නා වූ වෘත්තීය ගැටලු කිහිපයක් පිළිබදව මෙහිදී සාකච්ඡා සිදු කළ බවයි පැවසෙන්නේ

මෙම සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීන් එක්ව පවතින ගැටලු විසදා ගැනීමට කටයුතු කිරිම තුළින් සෞඛ්‍ය සේවාව නගා සිටුවිය හැකි බවයි

අළුතින් ගැටලු නිර්මාණය විමට ඉඩ නොදී දැනට පවතින ගැටලු නිරාකරණය කිරිමට මූලිකත්වය දිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා

තව ද සියළු වෘත්තීන් සමග සාමුහිකව සාකච්ඡා සිදුකරමින් තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් අතර විසදුම් ලබාදිය හැකි ගැටලු සදහා කෙටි කාලයක් තුල විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, මාසයක් වැනි කාලයක් තුල නැවත මෙම සාකච්ඡාවේ ප්‍රගමනය පිළිබදව සොයාබැලිමට කටයුතු කරන බවත් පවසා සිටියා .

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටලු අතර, සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාල දීමනා, නිල ඇදුම් දීමනා වර්ථමානයට ගැල‌පෙන ලෙස සංශෝධනය නොවීම, පරිපාලන බලය නොමැති අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරට පරිපාලන බලතල පවරමින් රැකියා විස්තරයක් (Job Description) නිකුත් කිරිම, රජයෙන් ලබාදී ඇති යතුරු පැදි ලියාපදිංචිය, රක්ෂණාවරණ මිලදී ගැනීම සහ පවරා ගැනීම සම්බන්ධ ගැටලු , දැනට යතුරු පැදි නොමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහා යතුරු පැදි ලබාදිම, මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුර උසස්වීමේ තනතුරක් ලෙස ස්ථාපිත කිරිම සහ පුහුණුව ආරම්භ කිරිම, ආර්ථික අර්බුදය හමුවේ මහජන සෞඛ්‍ය ‌සේවා ආරක්ෂා කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනට 2022 වසරේ ඔක්තෝබර් මස සිට මාස 03 ක් සදහා UNISEF ආයතනයෙන් ලබා දුන් දීමනාව මේ දක්වා ලබා නොදීම, විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අණපනත්වල දඩමුදල් ඉහළ දැමීම යන කරුණු සඳහන් වුණා .

සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාල දීමනා, නිල ඇදුම් දීමනා ඉල්ලීම් සාධාරණ බැවින් ඒ පිළිබද අවධානය යොමු කර තීන්දු තීරණ ගැනීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත්, යතුරු පැදි නොමැති කාර්ය මණ්ඩල සදහා යතුරු පැදි ලබාදීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා

තවද විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අණපනත් සංශෝධනය පිළිබදව අවධානය යොමු කරන බවයි කියා සිටියේ

Share This