මාතර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක් ගැන දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ දී අනාවරණයක්

මාතර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක් ගැන දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ දී අනාවරණයක්

ගංවතුරින් පීඩාවට පත් කුඩාම ව්‍යාපරයේ සිට ඒකක 130,000 කට සහන සලසන්න රාජ්‍ය නිළධාරින් ක්‍රියාත්මකවීම ප්‍රමාදවීම ගැන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කනස්සල්ල පළ කර තිබෙනවා.

මේ බව අනාවරණය වුණේ ඊයේ (09) මේ වසරේ අවස්න් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම දිස්ත්‍රීක්කයේ දේශපාලනඥයි, රාජ්‍ය නිලධාරීන් රැස් වූ අවස්ථාවේදීයි.

2025 වර්ෂයට අදාළ අවසන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී රැස් වුණා.

මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග හා ඉදිරි සැලසුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධානය යොමු කර තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් විනාශ වූ වගාවන් හා සත්ත්ව හානි සම්බන්ධ තොරතුරු රැස්කිරීම හා ඊට වන්දි ප්‍රදානය කිරීම, ආපදා තත්ත්වයෙන් හානි වූ යටිතල පහසුකම් සම්බන්ධව හා ආපදාවටපත් කර්මාන්ත පිළිබඳව මෙහි දී තොරතුරු විමසීමට ලක් කර තිබුණා.

2025 වර්ෂයට අදාළව විමධ්‍යගත මුදල්වල ප්‍රගතිය විමසීම, පළාත් සභාව හා රේඛීය අමාත්‍යංශ වලින් වෙන් වූ මුදල් වලට අදාළ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය ද අනතුරුව විමසීමට ලක් කළා.

මෙම රැස්වීමේ දී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් බී ලියනගේ මහතා දැඩි ලෙස මතු කළේ කිසිදු පූර්ව දැන්වීමකින් තොරව ප්‍රාදේශීය තැපැල් කාර්යාලයක් වසා දැමීම සම්බන්ධවයි.

මෙම ප්‍රාදේශීය තැපැල් කාර්යාල වසා දැමීම පිළිබඳව ජනතාව වෙතින් දැඩි විරෝධයක් එල්ලවන බවට එහිදී අදහස් පළ වුණා.

මෙහිදී තීරණය වී ඇත්තේ තැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව ඒවා වඩාත් ක්‍රමවත් ආකාරයට ඉදිරියට පවත්වා ගැනීම ගැන අදහස් පළ වූ අතර ඉදිරියේ දී තැපැල්පතිවරයා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කැඳවීමට අමාත්‍ය සුනි හඳුන්නෙත්ති මහතා එහිදී යෝජනා කළා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ක සහභාගිත්වයෙන් ද, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල එකමුතුවෙන් දිස්ත්‍රික්කය තුළ හා වෙනත් දිස්ත්‍රික්ක වෙත කරනු ලබන සහන සේවා මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙම රැස්වීමේ දී අනාවරණය වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය අනුමැතියට අදාළව මාතර කොටුව ක්‍රීඩාංගණය ආශ්‍රිතව සංවර්ධනය සඳහා රුපියල් මිලියන 95.8 වෙන් කර ඇති බවයි.

මීට අමතරව කොටවිල බස් නැවතුම්පළ සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් සහ, අකුරැස්ස බස් නැවතුම්පොළ සංවර්ධනයට රුපියල් මිලියන 1440 ක මුදලකුත් වෙන්කර ඇති බව සඳහන් කෙරුණා.

ලවණ බාධකය හා නිල්වලා ගඟ සංවර්ධනයට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කර ඇති අතර ඒ සම්බන්ධ කටයුතුත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නවතම තත්ත්වය හා අනාගත සංවර්ධන කටයුතු පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් වූ සෙසු කරුණුයි.

ධීවර, සෞඛ්‍ය, කෘෂිකර්ම, අධ්‍යාපන හා අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳවත්, ඊට කඩිනම් විසඳුම් ලබා ගැනීමත් නිලධාරීන් ඊට සමගාමීව කාර්යක්ෂමව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා.

මේ අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල් රාජ්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, චතුර ගලප්පත්ති, මාතර නගරාධිපති ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න , දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා ප්‍රධානීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.

 

Share This