මාස 5 කින් පමණ මෙරට අර්බුදය විසඳා ගත හැකි අයුරු මහ බැංකු අධිපති කියයි

මාස 5 කින් පමණ මෙරට අර්බුදය විසඳා ගත හැකි අයුරු මහ බැංකු අධිපති කියයි

රට තුළ ස්ථාවර රජයක් ස්ථාපිත වීමත්, පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කර ඇති පැහැදිළි මාර්ගයට අවශ්‍ය සහයෝගය ලබා දීමත් සිදු වන්නේ නම් මාස 5 ක පමණ කාලයකින් මෙරට අර්බුදය විසඳා ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

සීඑන්එන් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අවධාරණය කර ඇත්තේ මේ වනවිට අයි.එම්.එෆ්. සාකච්ඡාවලද අවසන් අදියරට ළඟා වී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද දැනුම් දී තිබෙනවා.

CNN මාධ්‍යවේදිනිය-
වැඩබලන ජනපතිතුමන් පසුගියදා ප්‍රකාශයක් කරලා තිබුණා, ලංකාවේ මූල්‍ය අර්බුදය ගැන, පැවති රජය ජනතාවට වසන් කළා කියල. ඔබ ඒ ප්‍රකාශයත් එක්ක එකඟයිද…?

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති –

දේශපාලනික වශයෙන් පළ කළ අදහසක් ගැන මගේ මතය ප්‍රකාශ කිරීම මම හිතන්නෙ ගැළපෙන දෙයක් නෙමෙයි. ඒත් මට එක දෙයක් කියන්න පුලුවන්. කලින් පැවති රජයේ වගේම මහ බැංකුවේ පාලකයින්ගේ අදහස වුණේ අයි එම් එෆ් එකේ උදවු ඕනෙ නෑ කියලා. ඒත් දැන් මම ආවාට පස්සෙ පාලකයින් වෙනස් මාර්ගයක් අනුගමනය කරන්නෙ. ඒ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මකයි. කලින් තිබුණු පාලකයින් යටතේ අනුගමනය කළ මාර්ගයේ නෙමෙයි අපි දැන් යන්නෙ. අපේ මාර්ගය ඒ අයට වඩා වෙනස්.

CNN මාධ්‍යවේදිනිය –
ජූලි අන්තිම වෙනකොට, ඉන් ඔබ්බට රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් තියෙනවාද…?

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති –
ඊළඟ සති කීපයට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් ගන්න අවශ්‍ය ප්‍රමාණවත් මුදල් තියෙනවා. ඉන් ඔබ්බට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය පියවර අපි ගන්න ඕනෙ. ලංකාවට අවශ්‍ය ආධාර ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාවත් චීනයත් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඉන්දියාව මේ වෙනකොටත් ලොකු සහයෝගයක් ලංකාවට දීලා තියෙනවා. තවදුරටත් ඔවුන් අපිට සහයෝගය දක්වයි කියල අපි බලාපොරොත්තු වෙනවා. එතනදි නව රජයට ලොකු කාර්යභාරයක් තිබෙනවා. අයි එම් එෆ් එකත් එක්ක පවත්වන සාකච්ඡාවලත් දැන් අවසන් අදියරට ළඟා වෙලා තියෙන්නෙ. රටේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට මේ වෙනකොටත් මෑත ඉතිහාසයේ ඉහළම පොලී අනුපාතයන්වලට යන්නත් අපිට සිද්ධ වුණා. ඒ වගේම අපි හිතනවාටත් වඩා ඉදිරියේදී තවත් උද්ධමනය ඉහළ ගියොත් අපිට සිද්ධ වෙනව තවත් දේවල් කරන්න අපිට දැන් පැහැදිළි වැඩසටහනක් තියෙනවා අපි ඒ මාර්ගයේ හරියට ගියොත් මට විශ්වාසයි මාස 5 ක වගේ කාලයක් ඇතුළත මේ ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුලුවන් කියලා. ඒ වගේම ස්ථාවර රජයක් මේ රටේ ඇති වුණොත් අපිට පුලුවන් ශක්තිමත් තීරණ ගන්න. ඒ වෙනුවෙන් අපේ පැත්තෙන් අපි උපරිම සහයෝගය ලබා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජීවා මහත්මිය නිවේදනය කර තිබෙනවා.

එහිදී ඇය අවධරණය කර ඇත්තේ රජයක් පවතින මොහොතක අයි.එම්.එෆ්. සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන බවත් ඒ සඳහා තම කණ්ඩායමේ නියෝජිතයින් සූදානම් බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවක් මඟින් පෙන්වාදී තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මින් පෙර අත්නොවිදි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ දෙමින් සිටින බවයි.

මෙම තත්ත්වය සමස්ථ ජනතාවගේ මානව හිමිකම් භුක්ති විදීමේ අයිතියට බලපෑමක් සිදු කරන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තරයේ කඩිනම් අවධානය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව දෙසට යොමු කරන ලෙසයි.

https://fb.watch/eoOSFfFGgm/

 

Share This