
මැඩගස්කර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයි 8 ගැන යාත්ර්රාවේ හිමිකරු තොරතුරු හංගලා – මුදාගන්න රජයෙන් මැදිහත් වේ
නීතිවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 8 දෙනෙකු මුදාගැනීමට රජය මැදිහත් වේ.
මැඩගස්කරයේ අත් අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් 8 දෙනකු මුදා ගැනීම සදහා රජය මැදිහත්ව කටයුතු කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය මුලින් දැනුවත් වූයේ පසුගිය ජූනි 11 වන දින ලැබුණු WhatsApp පණිවිඩයක් මගින් වන අතර, එම පණිවිඩය එදිනම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සදහන් කළේ කෙසේ වෙතත්, යාත්‍රාවේ හිමිකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට හෝ ධීවර දෙපාර්තමේන්තුවට කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින්ගේ පවුල්වලට පවා යාත්‍රා හිමිකරු මේ පිළිබඳව දැනුම් නොදෙන ලෙස බලපෑම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව අමාත්‍යාංශය පැවසුවා.
මැඩගස්කරයේ අධිකරණය හමුවේ නඩු කටයුතු සිදුවන අතර, එහිදී ප්‍රංශ භාෂාවෙන් නඩු විභාග සිදුවන බවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසනවා.
මෙම තත්ත්වය තුළ මෙරට ධීවරයින් සිංහල භාෂාව කතා කරන බැවින්, සිංහල සහ ප්‍රංශ භාෂා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් පෙරේදා (22) දින පැවැත්වීමට නියමිතව තිබූ නඩුව අගෝස්තු 4 වන දින දක්වා කල් දමා ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ පිළිබඳව සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සමඟ සාකච්ඡා කළ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සුදුසු භාෂා පරිවර්තකයෙකු සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
භාෂා පරිවර්තකයෙකු ලැබුණු වහාම, නඩුව කඩිනමින් විභාගයට ගෙන ධීවරයින් නිදහස් කර නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
ධීවර අමාත්‍යාංශය සහ ධීවර දෙපාර්තමේන්තුව මේ සඳහා සක්‍රීයව මැදිහත් වෙමින් සිටින අතර, අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල් හමුවූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරීන් ඔවුන්ගෙන් තොරතුරු විමසා තිබෙනවා.
නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් මැඩගස්කරයේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්ව තිබුණේ පසුගිය අප්‍රේල් 25 වන දින වෙල්ලමන්කර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්.
මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් අටදෙනෙකු මේ වන විට මැඩගස්කරයේ බන්ධනාගාරගත කර සිටින අතර, ඔවුන් නිදහස් කර ගැනීමට රජය දැඩි මැදිහත්වීමක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (23) ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් මුදවා දෙන ලෙසයි.
IMUL-A-0899-CHW (Ruth Baba -06) දරණ මෙම බහුදින ධීවර යාත්‍රාව පසුගිය අප්‍රේල් 25 වන දින ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ඇති අතර, ජූනි 2 වන දින මැඩගස්කර රාජ්‍යයේ අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටියදී ANTSANTSA ධීවර මුර සංචාරක යාත්‍රාව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
යාත්‍රාව මැඩගස්කරයේ EEZ වෙත ඇතුළුවීම සදහා අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ද වාර්තා වනවා.
මැඩගස්කර බලධාරීන් යාත්‍රාව පරීක්ෂා කිරීමේදී, එහි යාත්‍රා නාවික දත්ත සහ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) වාර්තා මකා දමා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයට (F.M.C.) යාත්‍රාවේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට නොහැකි වී ඇත්තේ මේ හේතුවෙන්.
යාත්‍රාවට මැඩගස්කර බලධාරීන් නිකුත් කරන ලද අවසරපත්‍රය හෝ වලංගු ධීවර බලපත්‍රයක් නොතිබී ඇති අතර, අත්අඩංගුවට ගැනීමේදී ධජය ඔසවා නොතිබීම හේතුවෙන්, මුලින් රාජ්‍යය තහවුරු කර ගැනීමට අපහසු වී තිබෙනවා.
යාත්‍රාව තුළ ශීත කළ සම්පූර්ණ මෝර ඔළු කිලෝ ග්‍රෑම් 16,125ක්, වියළන ලද මෝර ෆිලට් කිලෝග්‍රෑම් 1,618ක්, වියළන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 23ක් සහ වියළන ලද මෝර ගිල් කිලෝ ග්‍රෑම් 4 ක් ඇතුළුව සැලකිය යුතු මෝර අස්වැන්නක් සොයාගෙන තිබෙනවා.
මැඩගස්කර පරිසර විමර්ශන පොලිස් නිලධාරීන් නිගමනය කර ඇත්තේ යාත්‍රාවෙන් සොයාගත් මෝර විශේෂ CITES සම්මුතියේ II වන උපග්‍රන්ථය යටතේ ලැයිස්තුගත කර ඇති බවටයි.