මැතිවරණය ක්‍රියාවලියට බලපෑම් කරන බවට තායිවානයෙන් චෝදනා

මැතිවරණය ක්‍රියාවලියට බලපෑම් කරන බවට තායිවානයෙන් චෝදනා

චීනය සිය රටේ මැතිවරණය ක්‍රියාවලියට බලපෑම් සිදුකරමින් සිටින බවට තායිවානය චෝදනා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයකු වන වත්මන් තායිවාන උප ජනාධිපති විලියම් ලායිගේ අමෙරිකානු සංචාරයට විරෝධය පළ කරමින් චීනය, තායිවානය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ යුද අභ්‍යාසය සිදු කළ අතර තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ ප්‍රකාශ කර ඇත්තේ, රටේ ජාතික මැතිවරණ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ, ජනතාව මිස අසල්වැසි රටවල් නොවන බවයි.

චීනය තායිවානය වටා මෙම හමුදා අභ්‍යාසය දියත් කරන ලද්දේ එක්සත් ජනපදය දකුණු කොරියාව සහ ජපානය සමග වැදගත් සමුළුවක් අවසන් කරමින් සිටින අතරතුරදීයි .

එක්සත් ජනපදය, දකුනු කොරියාව සහ ජපානයේ නායකයින් ඔවුන්ගේ සන්ධාන ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කැම්ප් ඩේවිඩ් හි සුවිශේෂී සමුලුවක් පසුගිය දිනවල පවත්වා අවසන් කළ අතරවාරයේ මෙලෙස චීන හමුදාව තායිවානය වටා ඒකාබද්ධ ගුවන් සහ මුහුදු මුර සංචාර දියත් කළා.

මේ නිසාම එක්සත් ජනපදය, ජපානය සහ දකුනු කොරියාව ඒකාබද්ධව චීනයට එරෙහිව සිය සමගිය නැවත වතාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, චීනය දකුණු චීන මුහුදේ සිදුකරන “භයානක හා ආක්‍රමණශීලී” හැසිරීම හෙලා දකින බවයි.

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට, ඉන්දු-පැසිෆික් කටයුතු ශක්තිමත් කිරීමට සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් අධිෂ්ඨානශීලීව සිටින බවත් නායකයෝ තිදෙනා අවධාරණය කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තුවේදීද, මේ ආකරයෙන්ම, එවක එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ තායිපේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය තායිවානය වටා දින කිහිපයක මහා පරිමාණ යුද අභ්‍යාස දියත් කළා.

පෙලෝසිගේ සංචාරයට එරෙහිව, චීනයේ J-20 ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා සහ සාම්ප්‍රදායික මිසයිල අත්හදා බැලීම් ඇතුළත්ව, චීන හමුදාවන විසින් පෙර නොවූ විරූ දින හයක අභ්‍යාසයක් දියත් කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

චීනය විසින් ‘අතිශයින් භයානක’ ලෙස හෙළාදකින ලද නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසුව, තායිවානය සහ චීනය අතර සබඳතා ඉතා නරක අතට හැරී ඇති බව පෙනෙන්නට ඇති අතර චීනය පවසන්නේ තම හමුදා අභ්‍යාස, තායිවානය අවට අවදානම් කලාප හයක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

මෙම චීන තායිවාන ගැටුම අදක ඊයේක ආරම්භ වූවක් නොවන අතර චීනය විසින් තායිවානය සළකන්නේ, තම රටෙන් බිඳී ගිය ‘පළාතක්’ ලෙසයි.

කෙසේ වෙතත්, චීන ජනාධිපති ෂී ජිංපින් තායිවානය සමග ‘යළි එක්වීමට’ කටයුතු කළ යුතු බවට අවධාරණය කර ඇති අතර, තමන් ඒ සඳහා හමුදා බලය යෙදවීමේ ඉඩක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර නැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

තායිවානය යනු, ගිනිකොනදිග චීන වෙරළේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි දූපතක් .

එය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට තීරණාත්මකව බලපාන, එක්සත් ජනපද මිත්‍ර ප්‍රදේශ ලැයිස්තුවේ පළමු දූපත් දාමයේ පිහිටා තිබෙනවා.

චීනය විසින් තායිවානය අත්පත් කර ගත්තේ නම්, බටහිර පැසිෆික් කලාපයේ බලය පැතිරවීමට ඉඩ ලැබෙන අතර, ගුවාම් සහ හවායි තරම් දුරින් පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ද එය තර්ජනයක් විය හැකි බව ඇතැම් බටහිර විශේෂඥයෝ සඳහන් කර තිබෙනවා.

එහෙත් චීනය දැඩිව කියා සිටින්නේ තම අභිප්‍රායන් සම්පූර්ණයෙන් ම සාමකාමී බවයි.

ඉතිහාස මූලාශ්‍රවලට අනුව මෙම දිවයින ප්‍රථම වරට පූර්ණ චීන පාලනයට නතු වන්නේ 17 වන ශතවර්ෂයේ ක්විං රාජවංශය එය පාලනය කරන සමයේදී යි.

ඉන්පසුව, 1895 දී, පළමු චීන- ජපන් යුද්ධයෙන් චීනය පරාජය වීමෙන් පසුව දිවයින ජපානයට ලබා දීමට චීනය කටයුතු කර තිබුණා.

1945 දී ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් අනතුරුව, මෙහි අයිතිය නැවතත් චීනය අතට පත්වූ අතර කුඕමින්ටැන්ග් ලෙස හඳුන්වන, ජාතිකවාදී පක්ෂයෙන් ඉතිරි වූ පිරිස සහ චියැං කායි-ෂෙක් තායිවානයට පලා ගිය අතර, ඔවුන් ඊළඟ දශක කිහිපය තුළ තායිවානය පාලනය කර තිබෙනවා.

තායිවානය මුල සිටම චීනයේ පළාතක් බව පැවසීමට චීනය මෙම ඉතිහාස තොරතුරු යොදාගන්නා නමුත් තායිවානය තර්ක කරන්නේ ඔවුන් කිසි විටෙකත් 1911 විප්ලවයෙන් පසු පිහිටුවන ලද නූතන චීන රාජ්‍යයේ හෝ 1949 දී මාඕ යටතේ පිහිටුවන ලද මහජන චීන සමූහාණ්ඩුවේ කොටසක් නොවූ බවයි.

කුඕමින්ටැන්ග් යනු මුල සිට ම තායිවානයේ වඩාත්ම කැපී පෙනෙන දේශපාලන පක්ෂයක් .

තායිවාන ඉතිහාසය සලකා බැලීමේදී, ඉන් වැඩි කාලයක් තායිවානය පාලනය කර ඇත්තේ මෙම දේශපාලන පක්ෂය විසිනුයි .

දැනට තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගනු ලබන්නේ වතිකානුව හැරුණු විට රටවල් 13ක් පමණයි .

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් තායිවානයට ස්වාධින රාජ්‍යයකට පවතින හිමිකම් ඇති බව පිළිගනු ලබන අතර එක්සත් ජනපදයට සමීප දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල්ද තායිවානය සමග සමීප සම්බන්ධතා පවත්වාගනිමින් සිටිනවා.

Share This