මිරිස්වලින් හැදුණු අයිස්ක්‍රීම්

මිරිස්වලින් හැදුණු අයිස්ක්‍රීම්

පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු සමත්වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ වැලිමඩ දරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම නව නිෂ්පාදනය සිදුකොට ඇති බව සඳහන්.

නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපලට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව සඳහන්.

ඌව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදුකර තිබෙනවා.

එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මෙම නිෂ්පාදනය වෙළෙදපලට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස්වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිෂ්පාදනය දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් විශේෂ දෙකක් හඳුන්වා දී තිබෙනවා.

Share This