
මීරිගම සභාවේ අය වැය ඒකඡන්දයෙන් සම්මතයි – විපක්ෂ මන්ත්රීවරුන් චෝදනා කර පිටව යයි
මීරිගම ප්රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය සභාපතිවරයාගේ අයවැය යෝජනාවක් නොවන බවට චෝදනා කරමින් විපක්ෂයේ සියලු මන්ත්රීවරුන් ඉවත් වී යාමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 28 දෙනාගේ ඒකඡන්දයෙන් සම්මත වුණා.
ජාතික ජන බලවේගයේ සුමිත් මහින්දලාල් සභාපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය ලේඛනය අද(25) සභාවට ඉදිරිපත් කළා.
එහිදී සරත් නන්දසිරි රණතුංග ( පොදු ජන පෙරමුණ), සෝමරත්න දේනෙත්ති (සර්ව ජනබලය) ,කුමාර ගජනායක (ජාතික ජනතා පක්ෂය), ශිරාණි නිල්මිණි ( සමගි ජන බලවේගය) යන මන්ත්රීවරු ඇතුළු පිරිසක් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේකම්වරියගේ අයවැයක් බවට චෝදනා කරමින් එය නිවැරදි විය යුතු බවට චෝදනා කළා.
අප වාර්තාකරු පැවසුවේ සභාපතිවරයා ඊට පිළිතුරු දෙන අවස්ථාවේ විපක්ෂයේ සියලු මන්ත්රීවරුන් විරුද්ධතාවය දක්වමින් සභා ගැබෙන් පිටව ගිය බවයි.
අනතුරුව පාලක ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් සිය අදහස් දැක්වීමෙන් පසු අයවැය සභා සම්මත කළා.
ඉන් අනතුරුව විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරුන් ගම්පහ පළාත් පාලන කොමසාරිස්ට පැමිණිලි කිරීම සඳහා යන බව පවසා පිටව ගොස් තිබුණා.
