මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කරයි

මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කරයි

මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පාකිස්ථානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම විශාල බලපෑමක් කර ඇති අතර දැනට රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින්ගෙන් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරී ප්‍රමාණය ලීටර් 10ක් පමණ වන බව සඳහන්.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපතිවරයා සහ පාකිස්ථාන මහකොමසාරිස්වරයා සමඟ කළ සාකච්ඡාවලදී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

එමඟින් ලබන වසරේ දී කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති බව සඳහන්.

එම ඉලක්කය ජයගැනීම සඳහා මේ වනවිට පියවර රැසක් රජය විසින් ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

දැනට ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා.

මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් Major General Faheem Ul Aziz මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කර තිබෙන අතර එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්‍යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමනිසා පාකිස්ථානය ද මේ සම්බන්ධව සහයෝගය පළ කරනු ඇතැයි රජය වශයෙන් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීම සළකා බලමින් පාකිස්ථාන රජය විසින් ද ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පාකිස්ථානු මහකොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

මෙම සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතයි.

Share This