යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමට තවමත් ඉඩ වැඩියි
යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමට තවමත් බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව මේ වන විට යුක්රේන දේශසීමාවේ භටයන් 150,000 ක් පමණ රැස් කර ඇති බවයි.
මේ අතර රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇතැම් හමුදා මේ වනවිට ඉන් ඉවත් වී ඇති බවයි.
මෙයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා “රුසියානු හමුදා ඉවත්වීම හොඳ වනු ඇති බවත් නමුත් තවමත් එය තහවුරු කර නැති බවත් සඳහන් කරනවා .
බයිඩන් මහතා මෙම ප්‍රකාශය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව්හි ආරක්ෂක ගැටළු ආමන්ත්‍රණය කර බැරෑරුම් ලෙස ගත යුතු යැයි ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.,
තමන් ආක්‍රමණයක් සැලසුම් කරන බව පුටින් සැමවිටම ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියාවට යුරෝපයේ තවත් යුද්ධයක් අවශ්‍ය නොවන බවයි පවසා තිබෙන්නේ .
බයිඩන් ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දිගටම කරගෙන යාමට රුසියානු රජය විසින් කරන ලද යෝජනාවකට තමන් එකඟ වන බව ද පවසා තිබෙනවා.
යුක්රේනයට එරෙහි ඕනෑම ආක්‍රමණයකට ප්‍රතිචාර වශයෙන් රුසියාවට සම්බාධක පැනවීමට ඉඩ ඇති අවස්ථාවක බලශක්ති සැපයුමට බාධා කිරීම් සහ මිල ඉහළ යාමෙන් ඇමරිකානු ආර්ථිකය පීඩාවට පත් විය හැකි බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
විය හැකි සැපයුම් ගැටළු මඟහරවා ගැනීම සඳහා බලශක්ති නිෂ්පාදකයින් සහ නැව්ගත කරන්නන් සමඟ හදිසි සැලසුම් පිළිබඳව පරිපාලනය කටයුතු කරමින් සිටින බවද ජෝ බයිඩන් මහතා පවසනවා.
යුක්රේන ආක්‍රමණයක් ඉදිරියට ගියහොත් යුරෝපයට යෝජිත රුසියානු නෝර්ඩ් ස්ට්‍රීම් 2 ස්වාභාවික ගෑස් නල මාර්ගය “සිදු නොවන” බවද බයිඩන් මහතා අනතුරු අඟවනවා.