යුනෙස්කෝ උරුමයක් ලෙස නම් කිරීමට සැරසෙන මොරොක්කෝවේ පුරාණ  ධාන්‍යාගාර (PHOTOS)

යුනෙස්කෝ උරුමයක් ලෙස නම් කිරීමට සැරසෙන මොරොක්කෝවේ පුරාණ ධාන්‍යාගාර (PHOTOS)

උතුරු අප්‍රිකාව පුරා ධාන්‍යාගාර නැතිවී ගියත් මොරොක්කෝවේ ඇමසිග් ගම්වැසියන් ඔවුන්ගේ පුරාණ සම්ප්‍රදායන්ට අනුව ඒවා සංරක්ෂණය කිරීමට උත්සාහ කරමින් සිටිනවා.

ඔලිව් සහ තල් ගස් වලින් වට වූ මොරොක්කෝවේ ඇමසිග් කඳුකර ගම්මානයේ වැසියන් සියවස් ගණනාවක් පැරණි සාමූහික ධාන්‍යාගාරයක් ඇමසිග් සංස්කෘතියේ පැරණි පිළිවෙත්වලට අනුව සංරක්ෂණය කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

ඇමසිග් ගම්මානයේ වැඩිමහලු Hossine Oubrahim පැවසුවේ අනෙක් ප්‍රදේශවල පැරණි සම්ප්‍රදායන් අතුරුදහන් වුවත් ඇමසිග් කඳුකර ගම්මානයේ එවැන්නක් කිසිදා සිදු නොවන බවයි.

රබාත් අගනුවරට දකුණින් කිලෝමීටර් 460ක් පමණ දුරින් පිහිටි රළු කඳුකරයේ උස් වූ Ait Kine, රටේ ඉතිරිව ඇති සාමූහික ධාන්‍යාගාර කිහිපයෙන් එකකි.

18 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද සහ 2012 දී ප්‍රතිසංස්කරණය කරන ලද, මෙම සාමූහික ධාන්‍යාගාරය , ප්‍රදේශවාසීන් ඔවුන්ගේ නිෂ්පාදන ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට තවමත් භාවිතා කරනවා.

”අපි හැදී වැඩුණේ අපගේ ධාන්‍ය, කරවල, තෙල් සහ වටිනා දේ එහි ගබඩා කිරීමේ සම්ප්‍රදායන්ට අනුවයි. ඒ නිසා ඒ සම්ප්‍රදායන්ට දිගටම ගරු කරනවා” යනුවෙනුයි 70 හැවිරිදි වියේ පසුවන ඔබබ්‍රහිම් පැවසුවේ.

ගමේ ධාන්‍යාගාරය ප්‍රජාවගේ ආත්මය නියෝජනය කරන “ස්මාරකයක්” බවට ගම්වාසීන් විශ්වාස කරනවා.

රම්ඩ් අර්ත් ලෙස හැඳින්වෙන පිළිවෙතක් භාවිතා කරමින් ඉදිකරන ලද ධාන්‍යාගාරය ග්‍රාමය මධ්‍යයේ පිහිටා ඇති අතර එය ගල් මුරගලක් සහිත බලකොටුවකින් ආරක්ෂා කර තිබෙනවා.

අතීතයේදී, රජයට එරෙහි නොසන්සුන්තා සහ කැරලිවලදී, ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස මෙම ධාන්‍යාගාරය ලබා දුන් බවයි එහි ගම්වාසීන් පෙන්වා දී ඇත්තේ.

ඇල්ජීරියාවේ ඕරස් කඳුකරයේ, ටියුනීසියාවේ දකුණේ සහ ලිබියාවේ නෆුසා කඳුවල සාමූහික ධාන්‍යාගාර තවමත් දැකිය හැකි වුවත් ඒවා තවදුරටත් භාවිතයේ නොමැති අතර මොරොක්කෝවේ ධාන්‍යාගාර තවමත් පුරාණ සම්ප්‍රදායන්ට අනුවම පවත්වාගෙන යනවා.

මොරොක්කෝවේ සංස්කෘතික අමාත්‍යාංශයට අනුව, පුරාණ ධාන්‍යාගාර නොහොත් Agadir 550 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර මෙම පුරාණ ධාන්‍යාගාර යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

Share This