යෝධ ඉබ්බෙක් සහ හිපපොටේමස් පැටවෙක් මහජන ප්‍රදර්ශනයට එයි (VIDEO)

යෝධ ඉබ්බෙක් සහ හිපපොටේමස් පැටවෙක් මහජන ප්‍රදර්ශනයට එයි (VIDEO)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින හිපපොටේමස් යුවළට දාව පසුගිය 27 වැනිදා උපත ලැබූ පැටවෙකු මහජන ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික සත්වොද්‍යානය වෙත ලබා දුන් යෝධ ඉබ්බෙක්ද මේ වන විට ප්‍රදර්ශනයට එක්කර ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ සිටින නෙලා හා හියුබට් යන නයිල් හිපපොටේමස් යුවළට දාව පසුගිය 27 වැනිදා පැටවකු උපත ලැබුවා.

ඒ මෙම යුවළට දාව උපත ලැබූ 4 වැනි පැටවායි.

මෙම පැටවා පිරිමි සත්වයෙක්ද ගැහැණු සත්වයෙක්ද යන්න තවම සොයා ගෙන නොමැති අතර සත්වෝද්‍යානයට පැමිණෙන පිරිසට මෙම හිපපොටේමස් පැටවා දැක බලා ගැනීමට හැකියාව පවතින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පසුගිය දිනෙක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත ලබා දුන් යෝධ ඉබ්බෙක්ද මේ වන විට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

මෙම යෝධ ඉබ්බා දින ගණනක් මුහුදේ සිටීම සහ නිරාහාරව සිටීම හේතුවෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙලී ඇති අතර අත්තිඩිය වනජීවි සුරැකුම් මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන සුවය ලැබීමෙන් අනතුරුවයි මෙලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෙම සත්ත්වයා ලබා දී ඇත්තේ.

Share This