රජයේ විධායක නිලධාරීන්ට AI ගැන පාඩමක්

රජයේ විධායක නිලධාරීන්ට AI ගැන පාඩමක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීන් එක්ව සිටියා.

මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිවයි.

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත්, කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවත් මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළා.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන් මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සපයා තිබුණා.

 

 

Share This