රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරෙයි

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරෙයි

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම සිදුකර තිබෙනවා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු බව සඳහන්.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 33ක මුදලක් වැයකොට ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේදී ආරම්භ වූ මෙහි ඉදිකිරීම් වත්මන් කර්මාන්තවලට ගැළපෙන පරිදි, තාක්ෂණික, අධ්‍යාපනික හා පර්යේෂණ පහසුකම් නගාසිටුවීම හරහා තාක්ෂණය මත පදනම් වූ ශ්‍රම බලකාය ඉහළ නැන්වීම ප්‍රධාන අරමුණ කොටගෙන තිබෙනවා.

නව පීඨය අක්කර 2 ක භූමි භාගයක ඉදිකර ඇති අතර, ආසන 800 ක ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක්, මහල් 3 කින් යුත් විශාල පුස්තකාලයක්, බහු දේශන ශාලා, අති නවීන විද්‍යාගාර සහ රැස්වීම් ශාලාවලින් සමන්විතයි.

මෙම පීඨය යටතේ, ජෛව සැකසුම් තාක්ෂණවේදය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය, ආහාර තාක්ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හා ද්‍රව්‍ය තාක්ෂණවේදය යන අධ්‍යයන අංශ 05 ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This