
රටින් පලා ගිය විත්තිකරුවන්ට වැඩ වරදී
හෙරොයින් මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් දෙදෙනකු රටින් පලා ගොස් ඇති බව නීතිපති වරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
2019 වසරේ උතුරු මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196.8 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් විත්තිකරුවන් දෙදෙනෙකු රටින් පලා ගොස් ඇති බවයි සදහන් වන්නේ.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස්කොට නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා වරදකරු කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය විසින් මෙම දැනුම් දීම සිදු කළා.
ඒ අනුව විදේශ ගතව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව මීලග නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
ඊට අමතරව විදේශ ගතව සිටින එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට මීලඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියම කළ බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම ඊයේ (27) එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු ලැබුවා.
අභියාචනා පෙත්සම කැදවනු ලැබූ අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව මහාධිකරණය විසින් නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් විත්තිකරුවන් තුන් දෙනෙකුට සිතාසි භාර දී තිබෙන බව සඳහන් කළා.
මෙම නඩුකරයේ දෙවන සහ පස්වන විත්තිකරුවන් දෙදෙනා දැනටමත් රටින් පිටවී ගොස් ඇති අතර දෙවන විත්තිකරු වීසා කාලය ඉක්මවා රැදී සිටිම හේතුවෙන් ඔහු ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කළා.
ඊට අමතරව පස්වන විත්තිකරු 2023 වසරේ ජනවාරි මස 15 වනදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබි තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මතුකළ ප්‍රශ්ණයකට පිලිතුරු දුන් සොලිසිටර් ජෙනරාල්වරිය මෙම විත්තිකරුවන් දෙදෙනා රටින් පිටවී ගොස් ඇත්තේ නීත්‍යානුකූල මාර්ගයෙන් බවත් සඳහන් කළා.
මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සොලිසිටර් ජෙනරාල්වරියට පෙන්වා දුන්නේ ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු පිටුවහල් කොට මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.
මෙම විත්තිකරුවන් දෙදෙනා උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ වනවිට සිතාසි භාරදී තිබෙන විත්තිකරුවන් තුන් දෙනාටම මීලග නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයාට නියෝග කළ අතර ඔවුන්ට රටින් පිටවී යාමෙන් වළකින්නැයි දැනුම් දෙන ලෙසත් ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය අගෝස්තු මස 06 වන දින සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියම කළා.
2019 වසරේ නොවැම්බර් මස 21 වනදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරනු ලැබුවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2023 වසරේ අප්‍රේල් මස 06 වනදා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.
එම මහාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එබැවින් එය අහෝසි කොට විත්තිකරුවන් අදාල චෝදනාවලට වරදකරු කර ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.