රඹුක්කන විරෝධතාවයට සම්බන්ධ සැකකරුවෙක් CID අත්අඩංගුවට (වීඩියෝ)
පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු විරෝධතාවය පැවති ස්ථානයේ දුම්රිය මාර්ගය හරස්කර නවත්වා තිබූ ඉන්ධන බවුසරයයේ ඉදිරිපස ගිනි ගන්නා ස්ථානයේ රඳවා තිබූ යම් දෙයක් ඉවතට ගෙන විසිකොට එම ස්ථානයෙන් ඉවත්වන යන ආකාරය පෙන්නුම්කරන මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණයවන වීඩියෝ සහ ඡායාරූපවල දර්ශනය වන පුද්ගලයා බවයි පොලිසිය දන්වා සිටින්නේ.
එම අවස්ථාවේ දී සැකකරු කොළ පැහැති ටී ෂර්ටයක් සහ හමුදා කැළෑ ඇඳුමට සමාන කලිසමකින් සැරසී සිටින ආකාරය අදාල වීඩියෝ දර්ශන සහ ඡායාරූපවල දක්නට ලැබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 28 හැවිරිදි පින්නවල වත්ත, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද (23) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.