රිෂාඩ්ගේ ගෙදර ‘කහ පැහැති ලයිටරයකට’ පොලිස් ඇස
රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මරණයට පත් දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කණ්ඩායම එම දැරිය සේවයේ යෙදී සිටි නිවෙසට භූමිතෙල් සහ කහ පැහැති ලයිටරයක් ගෙනැවිත් ඇත්තේ මෙම සාහසික අපරාධය සිදුකිරීමටද යන්න සොයාබැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව පොලිස් විශේෂ කණ්ඩායමක් නිවෙස අවට ඇති වෙළෙඳසල් රැසක් පරීක්ෂාකොට ඇමැතිවරයාගේ ගෙදරට භූමිතෙල් ගෙන ගියේ කවුරුන්දැයි සෙවීමට උත්සාහ කළද ඒ කිසිදු ස්ථානයකින් භූමිතෙල් මිලදී ගෙන නොතිබූ බව විමර්ශන කණ්ඩායමේ නිලධාරියෙක් පුවත්පත් වෙත සඳහන් කර තිබෙනවා.
මේ වනවිට මේ සම්බන්ධ විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම රිෂාඩ් හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ සවිකර තිබූ සීසීටීවී දර්ශනද නිවෙසට බාහිර ස්ථානවල ඇති සීසීටීවී දර්ශනද පරීක්ෂා කර තිබුණා.
මේ වනවිට කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබූ පරිදි රිෂාඩ්ගේ නැන්දණිය ප්රකාශ කර ඇත්තේ ඇය විසින් නිවෙසේ සේවය කරන රියැදුරකු ලවා භූමිතෙල් ගෙන්වාගත් බවයි.
එහෙත් එම රියැදුරාගෙන් ප්රශ්න කළ නිලධාරීන්ට ඔහු සඳහන් කර ඇත්තේ තමා කිසිවිටෙකත් ඇමැතිවරයාගේ නිවෙසට භූමිතෙල් ගෙන නොපැමිණි බවයි.
එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් කහ පැහැති ලයිටරයේ හිමිකරු කවුද? එම ලයිටරය මෙහෙකාරියගේ කාමරයේ තිබූ ඇඳේ කොට්ටය අසලට පැමිණියේ කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් ඉදිරියේ පැනනැඟී ඇති තවත් ප්රශ්නයක් වනවා.
ඊට හේතුව වී ඇත්තේ හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ කිසිදු දිනයක භූමිතෙල් හා ලයිටරයක් පාවිච්චියට නොගත් බවට එම නිවෙසේ සේවිකාවක් විමර්ශන නිලධාරීන්ට පවසා තිබීම බවයි අද (28) පුවත්පත් වාර්තා කර ඇත්තේ.