රුපියල් 40,000 ක් අල්ලස් ගත් ඔක්කම්පිටිය  ඕ.අයි.සී. ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

රුපියල් 40,000 ක් අල්ලස් ගත් ඔක්කම්පිටිය ඕ.අයි.සී. ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළේ අදාළ සැකකරු ලබන 25 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළා.

මෙම පැමිණිල්ල අද (18) කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Share This