රුසියා යුක්රේන යුද්ධය කියාදෙන පාඩම
පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේන භූමියට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, තවමත් අවසන්ව නැත.
මේ වන විට දෙපාර්ශ්වයටම බරපතල හානි සිදුව තිබෙන අතර, කුඩා ළමුන්ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මියයෑම අතිශය කනගාටුදායක ය.
කිව් අගනුවර මෙන්ම කාර්කිව්, චර්නිව් වැනි නගරවල ද සටන් පවතී. වරින් වර පැය කිහිපයක් සඳහා සටන් විරාම ප්‍රකාශයට පත් වුවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක්ම සිදු වුවද මෙතෙක් ගැටුම් නිමා කිරීම සම්බන්ධයෙන් ඵලදායී එකඟතාවකට එළැඹීමට අපොහොසත්ව තිබේ. ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ඇතුළු රුසියානු දේශ සීමාවට මායිම් වන යුක්රේනයේ නගර හා ප්‍රදේශ සියල්ලේම පාහේ බලය මේ වන විට රුසියානු හමුදා යටතේ පවතී.
රුසියාව විසින් අරඹන ලද මෙම යුද්ධය කිසිසේත්ම අනුමත කළ නොහැකිය නමුත් මෙම අර්බුදයේ සැබෑ පසුබිම පෙනෙන තත්ත්වයට වඩා වෙනස්ය. මෙම අර්බුදය මෙතරම් ඔඩු දුවන්නට ඉඩ නොදී විසඳාගත හැකිව තිබුණු බව නොරහසකි. රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු, දේශපාලනයේ නවකයකු වන යුක්රේන ජනාධිපතිවරයා මෙම අර්බුදය කළමනාකරණය කළ ආකාරය කොතෙක් දුරට නිවැරදි ද යන ප්රශ්නය මෙහිලා මතුවේ. එපමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් හිතාමතාම යුක්රේනය උගුලක පැටලූවේ ද යන කරුණ ද සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය.
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සුපුරුදු පරිදි, සිය දේශපාලන ක්‍රීඩාවේ පොරපිටියක් බවට යුක්රේනය පත්කර ගත්තේ ද යන කරුණ ද බැහැර කළ නොහැකිය.
යුක්රේන-රුසියානු සබඳතාවලට වසර දහසකට වැඩි ඉතිහාසයක් ඇත්තේය. වර්තමානයේ පවතින රුසියාව, යුක්රේනය, බෙලරුස් යන රාජ්‍යයන් තුනේම මූලාරම්භය සිදුවන්නේ, ක්‍රි.ව. දහවැනි සියවසේ බිහි වූ ”කීව්ස්කයා රුස්” නමැති රාජ්‍යයෙනි. රුසියානු, යුක්රේනියානු සහ බෙලරුසියානු යනු එකම මූලයකින් පැවත එන ජාතීන් තෙවර්ගයක් වන්නේය.
යුක්රේන-රුසියානු සබඳතාවල ඉතිහාසය වසර දහසකට වඩා වැඩි ඈතකට දිව යන බව මේ අනුව පැහැදිලිය. එහෙත්, 1991 සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳවැටීමෙන් පසුව මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පටන් ගත්තේය. නව නිදහස් යුක්රේනය වේගයෙන් බටහිර දෙසට ඇදීයන්නට පටන් ගත් අතර, යුක්රේනයේ මෙම නව ප්‍රවණතාවය රුසියාවේ අමනාපයට හේතු විය. වසර ගණනාවක් තිස්සේ, විශේෂයෙන් සෝවියට් පාලන සමය තුළ, යුක්රේනය හා රුසියාව අතර පැවති දැඩි සබඳතා බිඳී යන විට, විවිධ අර්බුද මතුවන්නට පටන් ගත්තේය. සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අර්බුද ද මතුවන්නට පටන් ගත්තේය.
යුක්රේන-රුසියානු සබඳතා වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්වන්නට පටන් ගත්තේ, මිලිටරි සහයෝගිතා ගිවිසුමකින් බැඳී සිටින නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට යුක්රේනය ඉදිරිපත්වීමෙන් පසුවය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව, 1949දී, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි්රතාන්යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එකතු වී නේටෝ සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ සෝවියට් සංගමයෙන් එල්ල වෙතැයි අපේක්ෂා කළ තර්ජනවලට මුහුණ දීම සඳහාය.
එහෙත්, 1991දී, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳවැටීමෙන් පසුව, නේටෝ සංවිධානය විසුරුවා හැරීමක් සිදු නොවීය. ඒ වෙනුවට සිදු වූයේ, නේටෝ සංවිධානය තව තවත් ප්‍රසාරණය වීමය. පැරණි සමාජවාදී රටවල් ලෙස සැලකුණු නැගෙනහිර යුරෝපීය රටවල් හැමෙකක්ම පාහේ දැන් නේටෝ සංවිධානයේ සාමාජිකයෝ වෙති. එපමණක් නොව, පැරණි සෝවියට් සමූහාණ්ඩු සංගමය යටතේ පැවති රටවල් කිහිපයක්ම දැන් නේටෝ සංවිධානයේ සාමාජිකයෝ වෙති. මෙම පසුබිම තුළ, නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිර දෙසට ව්‍යාප්තවීම රුසියාව රුස්සන්නේ නැත. නේටෝ සංවිධානයේ ප්‍රසාරණය රුසියාව දකින්නේ තම රටේ ආරක්ෂාවට එල්ල වන තර්ජනයක් ලෙසටය.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි තම රටට නේටෝ සාමාජිකත්වය දෙන ලෙස ඉල්ලා සිටියේ මීට වසරකට පමණ කලිනි. එවැන්නක් සිදු නොකරන ලෙසට හා නේටෝවේ ව්‍යාප්තිය වළක්වන ලෙසට රුසියාව කාලයක් තිස්සේ ඉල්ලා තිබිණි. මෙම යුද ගැටුම් ආරම්භයත් සමඟ තමන් අපේක්ෂා කළ හමුදාමය සහාය නොලැබුණු පසුබිමක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ නේටෝව සමඟ එක්වීමට ගත් තීරණය වෙනස් කර ගන්නා බවය.
අමෙරිකාව යුක්රේනයට තම හමුදා එවීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවද අමෙරිකා හා බටහිර යුද ආධාර මේ වන විට යුක්රේනයට ලැබෙමින් ඇතැයි වාර්තා පළ වී තිබේ. න්‍යෂ්ටික බලවතුන් වන රටවල් අතර, දරුණු ලෙස යුද ගැටුම් ඇදීයාමක් සිදු වුව හොත් එය අවාසනාවන්ත තත්ත්වයකි. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳ චීනය ඇතුළු රටවල් කිහිපයක්ම උනන්දුවෙන් ක්‍රියා කරන බවක් දක්නට හැකිය. රුසියානු ‘ආක්‍රමණය‘ කල් තබා චීනය දැන සිටි බවට එල්ල කළ චෝදනා චීනය ප්‍රතික්ෂේප කළේ ද එලෙස දැන සිටියේ නම් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට කළ හැකි සියල්ල කරන බව පවසමිනි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමෙරිකාවට හෝ බටහිරට මෙල්ල කළ නොහැකි හා බලසම්පන්න නායකයෙක් වීම රුසියානු විරෝධී පාර්ශ්වයන්ගේ හිසරදයට ප්‍රධාන හේතුවකි. රුසියාවට එරෙහිව සම්බාධක විශාල ලෙස පැනවීම මඟින් රුසියානු ආර්ථිකය බිඳ දැමීම මෙන්ම ජන ජීවිත පීඩාවට පත්වීමට සලස්වා එවිට ඇති වන විරෝධය පුටින්ට එරෙහිව මෙහෙයවීම ද උපක්‍රමයක් වී ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද රුසියාවට එරෙහි සම්බාධක එරටට පමණක් බලපාන කාරණයක් නොවන බව දැනටමත් පැහැදිලිය. එසේම මෙම යුද ගැටුම වසංගතයත් සමඟ ලෝකය මුහුණ පෑ ආර්ථික අර්බුදය වඩාත් බරපතළ කිරීමට හේතු වී ඇති බව ද පැහැදිලිය.
නේටෝවේ ව්‍යාප්තවාදී උපායමාර්ගය හමුවේ රුසියාව සිය ආරක්ෂක අභිලාෂයන් බැහැර කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. එනම් සිය අසල්වැසි බලවත් රාජ්‍ය සමඟ මිත්රශීලීව මේ කාරණය විසඳා ගැනීම යුක්රේනයට ගත හැකි එක් මඟකි. එවැනි මාවතක් දිගුවන්නේ සාමය දෙසටය. ඒ වෙනුවට අමෙරිකා සහ බටහිර යුද ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් රුසියාව දෙස සතුරු ආකල්පයකින් බලමින් උද්ධච්ඡ පිළිවෙතක පිහිටා සිටීම යනු පවතින තත්ත්වය අවාසනාවන්ත ඛේදවාචකයක් කරා ගමන් කිරීමකි. යුක්රේනය යටත්කොට තම පාලනයට නතුකර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රුසියාව මුල පටන්ම ප්‍රකාශ කර තිබිණි. යුද්ධයේදී තමන්ගේ පාලනය යටතට පත්වන ප්‍රදේශවල පවා එවැනි ආධිපත්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍යතාවක් නැති බව ද සාමාන්‍ය කටයුතු සිදු කරගෙන යාමට හැකියාව ඇති බව ද පැවසිණි.
දැනට පවතින යුදමය තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගතහොත් එහි ප්‍රතිඵල තවත් වසර ගණනාවකට දිගු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කාරණයකි. එය බලපෑම් සහගත වන්නේ රුසියාවට හෝ යුක්රේනයට පමණක් නොවේ. යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දීම යුද අවි සමාගම්වල ලාභය තර කරනු ඇතත් ඉන් සිදු විය හැකි ජීවිත හා දේපළ හානිවල අලාභය විශාල වනු ඇත.
ඊට මේ තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය නොවේ. තවත් මාස කිහිපයක් හෝ වසරක් දෙකක් ගත වී සාමකාමී විසඳුමකට එළැඹීමට වඩා සටන් විරාමයක් ඇති කර ගනිමින් හෝ ප්‍රායෝගික විසඳුමකට එළැඹීම යුද්ධයට ඍජුව සම්බන්ධ පාර්ශ්වයන්ට පමණක් නොව ලෝක සාමයට ද හිතකර වනු ඇත.
කෙසේ වුවද රුසියානු- ය්‍රක්‍රේන ගැටුම ලොව සියළු රටවලට උගන්වන්නේ ලොකු පාඩමකි.අසල්වැසියා නොසළකා හැර වෙනත් ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් අසල්වැසියාට පිටුපෑමේ ප්‍රතිවිපාක එම පාඩමයි. අනෙක් රටවලටත් වඩා ශ්‍රී ලංකාව මෙම පාඩමෙන් ලබා ගත යුතු දෑ බොහෝය. මේ අර්බූදකාරී අවස්ථාවේ මෙරටට මුලින්ම අත් දිගු කළේ අසල්වැසි ඉන්දියාව මිස අන් කවර රටක්වත් නොවේ. ඒ සියළු මිත්රයින් උදව් උපකාර කිරීමට හිතමින්, සාකච්ඡා කරමින් තවමත් කල් මරමින් සිටියදි ඉන්දියාව දෙවරක් නොසිතාම තම පියවර ඉදිරියට ගත් බව නොරහසකි. ඉන්ධන, ආහාර හා ඖෂධ යනු කල් යල් බල බල සිටිය හැකි අවශ්‍යතා නොවේ. මේ වන විටත් ඉන්දියාවත්, තමිල්නාඩුව වෙනමත් එම අවශ්‍යතා සපුරමින් සිටියි.
ආසන්නයේම ඉන්දියාව වැනි බලසම්පන්න රටක් තිබියදී, ශ්‍රී ලංකාව හැරී සිටියේ චීනය වැනි ඉන් ඔබ්බට පිහිටි රටවල් වෙතය. නමුත් එම රටවල් සැතපුම් කිලෝ මීටර් තරමටම මෙරටට කොතරම් දුරද යන්න මෙම අර්බුද අවස්ථාවේ පෙන්නුම් කරමින් සිටියි. එසේම ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ අසල්වැසියාම බව තහවුරු කරමින් සිටියි. එබැවින් ලංකාවේ අනාගතය ගැන සිතා ගන්නා සෑම තීරණයකදීම පහේ ඉන්දියාව ප්රමුඛත්වයෙහිලා සළකා කටයුතු කළ යුතු බව මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාව මෙන්ම රුසියා යුක්රේන යුද්ධය ද අපට කියාදෙමින් සිටියි.