රුසියාවෙන් බටහිරට අනතුරු ඇඟවීමක්
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර දින 11ක් ගතව ඇති පසුබිමක බටහිර රටවල් කිහිපයක්ම රුසියාවට සම්බාධක පැනවීමට පියවර ගත්තා.
මෙලෙසින් තම රටට එරෙහිව සම්බාධක පැනවීම යුද්ධය ප්‍රකාශ කිරීමකට සමාන බවයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසන්නේ.
එමෙන්ම යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පැනවීමට අනෙක් රටවල් මැදිහත්වීම ද සන්නද්ධ ගැටුමට සිදු කළ සහභාගීත්වයක් ලෙස සලකන බවටයි රුසියාව අනතුරු අඟවන්නේ.
මේ අතර, යුක්‍රේන ජනපති ඩොන්බාස්හි ජනතාව අමතමින් රුසියානු හමුදාවන්ගෙන් ආරකෂා වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.
තවදුරටත් රුසියානු – යුක්‍රේන යුද ගැටුම් ඇවිලෙමින් තිබෙන පසුබිමක දකුණු යුක්‍රේනයේ මරියපෝල් නගරයේ යුධමය වාතාවරණය ඉතා දරුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
හාරලකෂයකට වැඩි ජනගහනයක් වෙසෙන එම නගරයේ මේ වන විට විදුලිබලය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
එමෙන්ම ජංගම දුරකථන ආවරණය ක්‍රියාවිරහිත වී ඇති අතර, මරියපෝල් නගරයට එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පසු ජල පහසුකම් ද ඇණහිට තිබෙනවා.
මේ අතර, අඛණ්ඩව එල්ලවන ගුවන් ප්‍රහාර හමුවේ දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති බවත් මෘත ශරීර ඉවත් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි මරියපෝල්හි නගරාධිපතිවරයා පවසන්නේ.
ඊයේ දින මරියපෝල් නගරයට සහ වොල්නොවොකා නගර කේන්ද්‍ර කර ගනිමින් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, මානුෂිය කොරිඩෝවක් හරහා සිවිල් වැසියන්ට ඉවත් වීමට අවස්ථාව උදා කෙරුණා.
කෙසේ වෙතත් තවදුරටත් එම නගරවලට ප්‍රහාර එල්ලවීම හරහා එම තාවකාලික සටන් විරාමය රුසියාව උල්ලංඝනය කරමින් සිටින බව බොහෝ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.
මේ වන විටත් යුක්‍රේනයෙන් ලකෂ 15 කට වැඩි වැසියන් පිරිසක් නික්ම ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.