
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට අදාළව නව නියමයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට අදාළව නව නියමයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ පෙබරවාරි 01 වැනිදා සිට ඔක්තොම්බර් 24 දක්වා කාලයට අදාළව නව කොන්දේසි බලාත්මක වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යම් යම් සීමාවන්ට යටත්ව වාහන ආනයනය කිරිමට රජය අවසර ලබාදුන්නා.
කෙසේ වෙතත් විටින් විට ගෙන්වන ලද වාහන 1000ක් පමණ නිදහස් කිරීමට නොහැකි වූයේ 2013 අංක 2 දරණ ආනයන හා අපනයන රෙගුලාසිවලට පටහැනිව එම වාහන ආනයනය කර තිබීම හේතුවෙන්.
මෙම වාහන නිදහස් කරගැනීම සඳහා ආනයනකරුවන් මෙන්ම හිමිකරුවන්ද විවිධාකාරයෙන් උත්සාහ කළ අතර, පසුව එය රේගු දෙපාර්තමේන්තුවට මුහුණ දුන් බරපතල ගැටළුවක් බවට පත්වුණා.
ඒ අනුව එම වාහන නිදහස් කිරීමට හැකිවන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ආනයනය කරන ලද රටින් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළව ගෙන්වා ඇති වාහන නිදහස් කරගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනවා.
එලෙස ගෙන්වා ඇති වාහන 1000 ක් පමණ නිදහස් කරගැනීමට මේ යටතේ අවසර හිමිවන අතර, අදාළ නියමයන් පසුගිය 24 වැනිදා සිට බලාත්මක වන බවද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව කොන්දේසි කිහිපයක් යටතේ වාහන නිදහස් කරගැනීමට අවසර හිමිවනවා.
නවතම වාහනයක් නිදහස් කිරීමේදී 2016 ජුනි 14 දින නිකුත් කර ඇති අංක 1970/10 දරණ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි රේගු වටිනාකම මත ගණනය කරන බදු මුදල් වටිනාකම සැලකිල්ලට ගන්නා බව නව ගැසට් නිවේදනයේ සඳහන්.
එම කොන්දේසිවලට අදාළව නිදහස් කරනු ලබන වාහන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන්නේ නම්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කරන ගාස්තුවකට යටත්ව ඒ සඳහා අවසර ලබාදිය යුතු බවද නව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
