ලංකාවේ ණය තිරසාරත්වයට පත්වීම ප්‍රමාදයි – IMF පෙන්වා දෙයි (VIDEO)

ලංකාවේ ණය තිරසාරත්වයට පත්වීම ප්‍රමාදයි – IMF පෙන්වා දෙයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) අනුමැතිය ලබාදීමෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බවයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මෙම ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මූල්‍ය විනය වැඩිදියුණු කිරීමට උපකාරි වන අතර ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීමද අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ අනුව තෙවන වාරිකය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව සඳහන්.

2023 වසරේ මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමිවුණා.

මෙම මුදලත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම අනුමැතිය අනුව ශ්‍රී ලංකාවට සිය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කළ හැකි බව මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.එස්.සමරතුංග මහතා පවසන්නේ.

Share This