ලංකාවේ බලශක්ති අර්බුදය විසදීමට පුනර්ජනනීය බලශක්තිය

ලංකාවේ බලශක්ති අර්බුදය විසදීමට පුනර්ජනනීය බලශක්තිය

ශ්‍රී ලංකාව විදුලිබලය හා බලශක්තිය සම්බන්ධයෙන් මේ වන විට පසුවන්නේ දැඩි අර්බුදයකයි. රට පුරා ඇති ඉන්ධන සහ ගෑස් පෝලිම් මෙන්ම දෛනික විදුලි කප්පාදුව ද එම අර්බුදයේ තරම කියාපානවා.

එම අර්බුදය හමුවේ වුවද, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්කල ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුවන්නේ පුනර්ජනනීය බලශක්තිය පිලිබඳ දැඩි විශ්වාසයකින්.

මෙම වසර ආරම්භයේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් පසුගිය ජනවාරි 03 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතවූ එක් ප්‍රධාන කරුණක් වුයේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයයි.

බලශක්ති අර්බුදයට දීර්ඝ කාලීන විසදුම් සෙවීමේදී සුර්ය බලය, සුළං බලය, ජල විදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන විශේෂ අවධානයක් යොමු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වී ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කරනු ලැබුවා. ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද 2030 ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීමේදී, ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයෙන් 70%කම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් ක්‍රියාත්මක කිරීම යනුවෙන්.

රට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව පිළිබඳව ශ්‍රී ලංකා රජය විශාල උනන්දුවකින් පසුවීමට ඉහත කී ජනාධිපතිවරයාගේ උනන්දුව ප්‍රධාන හේතුවක්. මේ නිසාම ඉදිරි වසර 6 ඇතුළත පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 5,000ක විදුලිය ප්‍රමාණයක් උපදවා, එය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා මගපෙන්වන බව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කළ ඇමැති මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය දිනෙක ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකරනු ලැබුවා. විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව එහිදී විමසා බැලූ ජනධිපතිවරයා, විදේශ ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබාදුන්නා.

වත්මන් ලෝක තත්වය දෙස බලන විට ජනාධිපතිවරයාගේ අරමුණ සහ උනන්දුව සාධනීය එකක් ලෙස හදුනාගැනීමේ වරදක් නැහැ. මන්දයත් අද ලෝකය කාබන් ඉන්ධන දහනයෙන් සිදුකරන බලශක්ති නිෂ්පාදනය වෙතින් විතැන්ව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දෙසට වේගයෙන් ගමන් ගනිමින් සිටීමයි.

මෙම ක්‍රියාවලිය තුළ ලෝක‍යේ ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ඉන්දියාවයි. ලෝකයේ පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් විදුලිබලය නිෂ්පාදනය කරන රටවල් අතර තුන්වන ස්ථානයේ සිටින ඉන්දියාවේ විදුලිය සැපයුමෙන් සියයට තිස් අ‍ටක් එනම් ගිගාවොට් 136 ක්ම නිෂ්පාදනය කෙරෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ඇසුරෙන්. මෙම පසුබිම තුළ ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය තුළින් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ සදහා සහය සහ ශක්තිය ලබා ගැනීමේ හොදම මාවත වැටී ඇත්තේ ඉන්දියාව ඔස්සේ බව පැහැදිළියි. එය නිවැරදිව වටහා ගනිමින් මේ වන විට ලංකාවේ විදුලිය නිෂ්පාදනය සදහා ඉන්දියාවේ සහයෙන් පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමේ ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව , ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ඉදිවන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය පසුගිය මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකා රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙම ව්‍යාපෘති පිළිබඳව අදානි සමූහ ව්‍යාපාරය හෝ ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු ආකාරයක නිල ප්‍රකාශයක් සිදුකර නැතත් මෙම ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයන්හි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරනවා.

අදානි සමාගම මෙම නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ, කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීමට අදාළ ගිවිසුම අත්සන් කර මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. අදානි සමගම විසින් ඉදිකිරීමට නියමිත නව පුනර්ජනනීය ව්‍යාපෘති දෙකෙහිම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක් පමණ වන අතර ඒවායින් ජාතික පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන සමස්ත විදුලි ධාරිතාව මෙගාවොට් 500ක්. මෙම ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේයි. චීන සමාගමක්‌ විසින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ දුපත් තුනක ආරම්භ කිරීමට සුදානමින් සිටි තවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දියාවේ විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවා මාස කිහිපයකට පසුව අදානි සමාගම වෙත ශ්‍රී ලංකාව විසින් මෙම නව ව්‍යාපෘති දෙක පිරිනැමීම විශේෂත්වයක්.

මෙම ව්‍යාපෘති දෙක වසරක කාලයකදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව අදානි පාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා. අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වුණා. එම සංචාරය අතරතුර ඔහු සහ සමාගමේ නියෝජිතයන් මන්නාරම දිස්ත්‍රික්කයට ගොස් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ස්ථානවල ස්ථාන නිරීක්ෂණය කිරීමටද කටයුතු කර තිබුණා. එසේම එම සංචාරයේදී ගෞතම් අදානි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව අදානි පාර්ශ්වය විසින් පමණක් ජනමාධ්‍ය වෙත වාර්තා කර තිබුණා.

මෙම නව ගිවිසුමට අමතරව ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයක් පිහිටුවීම වෙනුවෙන්ද ඉන්දියාව ආයෝජනය කිරීමට නියමිතයි. ඊට අදාළ ගිවිසුමට මේ වනවිටත් අත්සන් තබා ඇති අතර එහිදී ඉන්දියාවේ ජාතික බලශක්ති ආයතනය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව පිහිටුවන නව සමාගමක් හරහා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනවා. දැනටමත් මූලික කටයුතු ආරම්භ වී ඇති මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පදනය කෙරෙන විදුලිය ලබන වසර අගදී ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිතයි.

මේ අනුව පැහැදිලිව පෙනීයන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සැලසුම වී ඇත්තේ ඉන්දීය සහායෙන්, ඉතාම ඉක්මනින් පුනර්ජනනීය බලශක්ති සැලසුම් දියත්කිරීම බව පෙනෙන්නට තිබෙනවා. ඉන්දියාවද ඒ වෙනුවෙන් සිය උපරිම කැපවීම මේ වන විට ප්‍රදර්ශනය කර ඇති බවත් මෙවර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදුකල සංචාරයේදී, ඉන්දීය අගමැතිවරයා හරහාම ප්‍රදර්ශනය කළ බවත් දැකගැනීමට පුලුවන්.

ඉන්දීය අගමැතිවරයා මෙම තහවුරුව ලබාදෙනු ලැබුවේ පසුගිය සතියේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සිදුකල නවදිල්ලි සංචාරය අතරතුරයි. ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය මාර්තු 16වැනිදා ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අගමැති නරින්ද්‍ර මෝදි හමුවුණා. සමීප අසල්වැසියකු ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සෑම විටම ඉදිරිපත්වන බව අගමැතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබුණා. මෙම හමුවේදී අවධානයට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍රයක් වුයේත් පෙරකී ලෙස පුනර්ජනනීය බලශක්තියයි. අගමැතිවරයා සමග පැවැති එම සාකච්ඡාවෙන් පසුදින මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය බලශක්ති ඇමැති ශ්‍රී රාජ් කුමාර් සිං හමුවූ අතර ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාලව එහිදීද දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ඇසුරෙන් විදුලිය නිෂ්පාදනය සදහා ඉන්දීය සහයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ සියල්ල අධික පොලිය සහිත ණය මත සිදුවන ඒවා නොවීමයි. මේ සියල්ල ආයෝජන ව්‍යාපෘති වන අතර එහිදී ඉන්දීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයතන සමග එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද කැපී පෙනෙනවා.ඒ අනුව මින් ප්‍රතිලාභ ලැබෙන්නේ රටට සහ ජනතාවට මිස වත්මන් ආණ්ඩුවට හෝ දේශපාලඥයන් පිරිසකට නොවන බව ද සදහන් කළ යුතුමයි.

Share This