ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් අර්බුදයක

ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් අර්බුදයක

ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ නිරත කර්මාන්ත හිමිකරුවන් සහ සේවකයින් පන්දහසක් පමණ අද(13) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක නිතර වී තිබෙනවා.

බදු නොගෙවා සහ නීති විරෝධීව විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් වෙළෙඳ පොළේ අඩු මිලට විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව ගිනි පෙට්ටි මිලදී ගැනීම අඩු කිරීම මත දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටී එම කර්මාන්තයේ නියුතු 10,000 කගේ පමණ රැකියා අවිනිශ්චිත හා අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

මහනුවර ජෝර්ජ්.ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට රැස්වූ පිරිස පැයක පමණ කාලයක් එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත වීමෙන් පසු දළදා වීදිය, ඩි.එස් සේනානායක වීදිය හා රජ වීදිය ඔස්සේ පාගමනින් ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කළා.

පසුව රජ වීදිය ඉහළ කෙළවරින් මාර්ග බාධක දමා ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ආයතන හිමිකරුවන් සහ නිලධාරින් කිහිප දෙනෙකුට ආණ්ඩුකාරවරයා හමුවීම සඳහා අවස්ථාව ලබා දීමට පොලීසිය පියවර ගත් බව සඳහන්.

තම කර්මාන්තවලට ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට ලිපියක් බාර දෙමින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර දේශීය ගිනි පෙට්ටි කර්මාන්තය ආරක්ෂා කරදීමට කටයුතු සලසා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා එම අවස්ථාවේ දුරකතනයෙන් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සම්බන්ධ කර ගනිමින් ගැටලුව ඉදිරිපත් කිරීමේ අවස්ථාව නියෝජිත පිරිසට ලබා දී තිබෙනවා.

විදේශ රටවලින් මෙරටට ගෙනෙන ලද ප්ලාස්ටික් ලයිටර් වර්ගයක් රුපියල් 25 ක පමණ මුදලකට දේශීය වෙළෙඳ පොළේ අළෙවි කෙරෙන බවත් මේ හේතුවෙන් ගිනි පෙට්ටි මිලදී ගැනීමට පාරිභෝගිකයින් තුළ පැවැති උනන්දුව පහත වැටී තිබෙනවා.

බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලයිටර් ඉතා අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් ගිනිපෙට්ටි අලෙවිය මේ වන විට ඉතාමත් පහත වැටී කර්මාන්තශාලා වැසි යාමේ අවදානමක් උද්ගතව පවතින බවත් මේ හේතුවෙන් රැකියා 10.000 ක් පමණ අහිමි වීමේ බරපතල අවදානමක් උද්ගතව ඇති බවත් වාර්තා වනවා.

රජයට බදු නොගෙවා නොයෙකුත් කූඨ ක්‍රම මගින් ගෙන එනු ලබන මෙම ප්ලාස්ටික් ලයිටර් පරිසරයට මුදා හැරීමෙන් බරපතළ පරිසර හානියක් සිදුවන බවද සඳහන්.

ඇතැම් රේගු නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම ලයිටර් රජයට අයවිය යුතු බදු මුදල් ද නොගෙවා රට තුළට ගෙන එන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මේ සම්බන්ධව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද දැනුවත් කර කඩිනමින් පියවරක් ගන්නා බවත් කර්මාන්ත ඇමැතිවරයා පවසා තිබෙනවා.

Share This