ලෙබනනයේ සාමසාධක රාජකාරිවලට යන හමුදා භට කණ්ඩායම යුද හමුදාපතිට ගෞරවාචාර පිරිනමයි

ලෙබනනයේ සාමසාධක රාජකාරිවලට යන හමුදා භට කණ්ඩායම යුද හමුදාපතිට ගෞරවාචාර පිරිනමයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන 16 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පිරිනමා තිබෙනවා.

එම කණ්ඩායම ලබන 03 වනදා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිතයි.

16 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම විසින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පිරිනමා තිබෙනවා.

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අරක්‍ෂක භට කණ්ඩායමේ සම්මාන පෙළපාලිය පිරිනැමීමෙන් අනතුරුව භට කණ්ඩායමේ අණදෙන නිලධාරි වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ගජබා රෙජිමේන්තු ධජය පිරිනමනු ලැබුවා.

යුද්ධ හමුදාවේ විවිධ බලකා සහ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරින් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 125 දෙනෙකුගෙන් සමන්විත 16 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා කටයුතු කරනු ලබන අතර, දෙවන අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලුතිනන් කර්නල් කේ.වී.ඒ කොඩිකාර කටයුතු කරනු ලබනවා.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ 16 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායමේ සමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ද එක්වූ බව සඳහන්.

 

 

Share This