ලොව සිදු වූ මාරාන්තික දුම්රිය අනතුරු බොහොමයක් ඉන්දියාවෙන් (විශේෂාංග)

ලොව සිදු වූ මාරාන්තික දුම්රිය අනතුරු බොහොමයක් ඉන්දියාවෙන් (විශේෂාංග)

දුම්රිය ආරක්ෂාව වැඩි දියුණු කිරීමට උත්සාහ කළද ගැටීම්, පීලි පැනීම් සහ වෙනත් අනතුරු නිසා තවමත් ලොව පුරා මාරාන්තික දුම්රිය අනතුරු සිදුවනවා.

පසුගිය 02 වනදා ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුර, දිනකට මිලියන 12 කට අධික ජනතාවක් ප්‍රවාහනය කරන රටේ දුම්රිය මාර්ගවලට සම්බන්ධ වූ අනතුරු මාලාවක නවතම සිදුවීම වනවා. .

දුම්රිය ආරක්ෂාව වැඩි දියුණු කිරීමට රජය කොතෙක් උත්සහ කළත් ඉන්දියාවේ දුම්රිය මාර්ගවල වාර්ෂිකව අනතුරු සිය ගණනක් සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බොහෝ දෙනා දෝෂාරෝපණය කරනු ලබන්නේ මිනිස් නොසැලකිලිමත්කම හා යල් පැන ගිය සංඥා උපකරණ නිසා දුම්රිය අනතුරු සිදුවන බවයි.

ඉන්දියාවේ සිදුවූ අනෙකුත් දුම්රිය අනතුරු මෙන්ම පසුගිය වසර 10 තුළ ලෝකයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරු පිළිබඳව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබෙනවා.

2018 ඔක්තෝබර් – පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක් වන අම්රිත්සාර් නගරයට ආසන්නයේ, උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ගිනිකෙළි නරඹමින් සිටි සෙනඟක් අතරට දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

2016 නොවැම්බර් – ඉන්දෝර් සහ පැට්නා නගර අතර ධාවනය වූ මගී දුම්රියක් පීලිවලින් ලිස්සා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 146 දෙනෙකු මිය ගොස් ඇති අතර 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව සඳහන්.

2011 ජූලි – උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆතේපූර් අසල මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් මගීන් 239 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

2010 මැයි – බටහිර බෙංගාල ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැන භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 145 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මාඕවාදී කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා මෙම අනතුරට වගකිව යුතු බවයි බලධාරීන් චෝදනා කර ඇත්තේ.

2005 ඔක්තෝබර් – ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වේලිගොන්ඩා නගරයේ අධික වර්ෂාව හේතුවෙන් පිටාර ගලමින් තිබූ ගංගාවකට මගී දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 111 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිවලින් තුවාල ලැබූ මගීන් 100ක් පමණ බේරාගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

2002 සැප්තැම්බර් – කොල්කටා සිට නවදිල්ලිය බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැන ගඟකට ඇද වැටීමෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ පට්නා අගනුවරට දකුණින්.

1999 අගෝස්තු – ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහාටි නගරයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 285 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

1998 නොවැම්බර් – ඛන්නාහි උතුරු නගරයේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 210 දෙනෙකු මිය ගොස් ඇති අතර මගී දුම්රියක් තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි සඳහන් වන්නේ.

1995 අගෝස්තු – නවදිල්ලිය අසලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 358 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එක් දුම්රියක් හරකෙකුගේ ගැටීමෙන් පසු නවතා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර පසුගිය දශකය තුළ ලොව පුරා සිදු වූ මාරාන්තික දුම්රිය අනතුරු වාර්තා වී ඇත්තේ මේ ආකාරයෙන්.

2023 පෙබරවාරි – ග්‍රීසියේ අගනුවර වන ඇතන්ස් සහ තෙසලෝනිකි අතර මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් 57 දෙනෙකු මිය ගිය අතර එය රටේ එතෙක් සිදු වූ දරුණුතම දුම්රිය අනතුරයි.

2022 මාර්තු – කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ලුආලාබා පළාතේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 75 දෙනෙකු මිය ගොස් තවත් 125 දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර ඊට මාසයකට පසු, එම ප්‍රදේශයේම භාණ්ඩ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා.

2021 ජුනි – පකිස්ථානයේ දකුණු සින්ද් පළාතේ ගොවිබිම් හරහා ගමන් කරන දුම්රියක් පීලි පැන තවත් මගී සේවාවක ගැටීමෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වනවා.

2021 අප්‍රේල් – තායිවානයේ හුවාලියන් නගරය අසල බැම්මකින් ලිස්සා ගිය ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දශක ගණනාවකට පසු එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සඳහන් වී ඇත්තේ මෙම අනතුරයි.

2019 ඔක්තෝබර් – පකිස්තානයේ ලාහෝර් නගරය අසල ආගමික රැස්වීමකට වන්දනාකරුවන් රැගෙන යමින් සිටි තදබදයෙන් පිරුණු මගී දුම්රියක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

2016 ඔක්තෝබර් – කැමරූන් අගනුවර Yaounde සිට Douala ආර්ථික කේන්ද්‍රය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 79 දෙනෙකු මිය ගොස් තවත් 550 දෙනෙකුට පමණ තුවාල ලබා තිබෙනවා.

2014 අප්‍රේල් – කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මඩ වගුරු සහිත සහ ප්‍රවේශ විය නොහැකි කොටසක නීතිවිරෝධීව මගීන් සිය ගණනක් රැගෙන ගිය භාණ්ඩ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 136 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

2013 ජූලි – ස්පාඤ්ඤයේ සන්තියාගෝ කොම්පොස්ටෙලා අසල අධිවේගී දුම්රියක් කොන්ක්‍රීට් තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් 80ක් පමණ මිය ගොස් 140 ක් පමණ තුවාල ලැබූ බවයි වාර්තාවල සඳහන් වී ඇත්තේ.

Share This