
ලොවටම ආදර්ශයක් වෙමින් ඉන්දියාවේ ජනාධිපතිනිය වූ ගෝත්‍රික කාන්තාවගේ ජීවිත කතාව
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා ලෙස එරට ඉතිහාසයේ පළමු වරට සන්තාල් ගෝත්‍රික කාන්තාවක් පත් වීම ලොව පුරා අවධානය දිනා ගෙන තිබෙනවා.
නිදහසින් පසු ඉන්දියාවේ ජනාධිපතිධූරයට පත්වන ලාබලතම මෙන්ම රටේ දුප්පත්ම කලාපයකින් රටේ මුල් පුටුවට පත් වූ පළමු තැනැත්තිය ලෙසද ද්‍රෞපදී මුර්මු ඉතිහාස ගත වනු ඇති.
මෙම ඉතිහාසගත වන කතාන්දරයට මුල්ම පියවර තබන්නේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි.
ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මුල සිටම මතු කරන්නේ අගමැති මෝදි බවයි පැවසෙන්නේ.
අග්‍රාමාත්‍ය මෝදිගේ පුද්ගලයින් හඳුනා ගැනීමේ අද්විතීය දක්ෂතාවය මීට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
භාරතීය ජනතා පක්ෂය හා සහාය පක්ෂ ජනාධිපතිවරණය සඳහා නම් 20ක් පිළිබඳව අධ්‍යයනය කර අවසානයේ සුදුසුම පුද්ගලයා ලෙස ද්‍රෞපදී මුර්මු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.
මේ බව ඇය දැන ගෙන ඇත්තේ ද රූපවාහිනියෙන්.
එහිදී තමා පුදුමයට මෙන්ම මහත් ප්‍රීතියට පත් වූ බව ඇය මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
ඇය මෙලෙස සතුටට පත්ව තිබුණේ අති දුෂ්කර පළාතක ගෝත්‍රික කාන්තාවක් රටේ ඉහළම තනතුරට අපේක්ෂකයකු වීම පිළිබඳවයි.
ඔඩිෂා ප්‍රාන්තයේ දේශපාලන නායකයින් ඇයගේ නාමයෝජනා පිළිගෙන තිබුණේ ඇය “මහ පොළොවේ දියණිය” ලෙස පවසමින්.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ පාර්ලිමේන්තු සභිකයින් හා ව්‍යාවස්ථාදායක සභ සාමාජිකටන්ගේ සමස්ථ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 65% ප්‍රතිශතයක් ඇයට හිමි තිබුණා..
ඒ මෝදිගේ තීරණය වඩාත් නිවැරදි එකක් බව තව දුරටත් තහවුරු කරමින්.
ප්‍රතිවාදී අපේක්ෂක යෂ්වන්ත් සිංහාට හිමි වූයේ 35% ක ඡන්ද ප්‍රතිශතයක්.
වසර 2017 දී ද්‍රෞපදී මුර්මු ප්‍රසිද්ධියට පත් වූයේ එම වසරේ ජනාධිපතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය ඇගේ නම සලකා බලන බවට කටකතා පැතිරීමත් සමඟයි . ඒ වන විට ඇය ජහර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබුණා.
1958 දී මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ උපත ලද ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ විශාලතම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක් වන සන්තාල් ප්‍රජාවට අයත් කාන්තාවක්.
ගම් සභා ප්‍රධානියකුගේ දියණියක් වන ඇය ඉගෙනුම ලැබුවේ ප්‍රාන්ත අගනුවර වන බුවනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයෙන් බවයි පැවසෙන්නේ.
එම පාසැලට ඇතුළත් වීම පිළිබඳ රසවත් කතාවක් ද පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
රයිරන්ග්පූර් නගරයේ පැවැති ඔඩීෂා රජයේ අමාත්‍යවරයෙකු වන කාර්තික් මාජ්හි පැමිණි උත්සවයකට ඇගේ පියා ඇයව රැගෙන ගොස් තිබු බව සඳහන්. එහිදී හදිසියේම, ඇය තම පාසල් සහතිකය පෙන්වමින් බුවනේෂ්වර්හි ඉගෙනීමට අවශ්‍ය බව වේදිකාවේ සිටි ඇමතිවරයාට කෑ ගසා ප්‍රකාශයක් තිබු බවයි පැවසෙන්නේ.
මෙම කුඩා දැරියගේ උද්යෝගය පිළිබඳව අමාත්‍යවරයා කෙතරම් පැහැදුණේද යත්, ඇයට ප්‍රාන්ත අගනුවර රජයේ පාසලකට ඇතුළත් වීමට උදව් කරන ලෙස ඔහු තම කාර්ය මණ්ඩලයට නියෝග කර තිබුණා. මුර්මු බුවනේෂ්වර් පාසැලට ඇතුළත් වන්නේ ඒ අයුරින්
ඔඩිෂා රජයේ ලිපිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මුර්මු 1979-1983 දක්වා වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස සේවය කළා.
තම නැන්දනියගේ බලකිරීම මත ඇය බුවනේස්වර් හි රැකියාවෙන් ඉවත් වී තම පවුල රැකබලා ගැනීම සඳහා රයිරන්ග්පූර් වෙත ආපසු පැමිණි පසු, ඇය ශ්‍රී අරොබින්දෝ ඒකාබද්ධ පාසලේ ගුරුවරියක් ලෙස රැකියාවක් ආරම්භ කළ බවයි පැවසෙන්නේ.
නමුත් එහිදී ඇය වැටුපක් ගැනීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙය රැකියාවක් නොව රාජ්‍ය සේවයක් බවයි.
පාසල ඇයට ගෙව්වේ රික්ෂෝ ගාස්තුවක් පමණයි . බැංකු නිලධාරියෙකු වන තම සැමියාගේ වැටුප පවුලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බව ඇය පවසා තිබුණා.
ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ 1997 දී ඇය රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමත් සමඟයි . ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලිකව අධීක්‍ෂණය කරන අතර, කාණු පිරිසිදු කර කසළ ඉවත් කරන විට අව්වේ සිටගෙන ඊට උපදෙස් දෙනු දක්නට ලැබුණා.
භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් ලෙස, ඇය දෙවරක් ප්‍රාන්ත සභාවට තේරී පත් ව තිබු බව සඳහන්. ඒ 2000 දී සහ 2009 දී – රයිරන්ග්පූර් ආසනයෙන්.
2000 සිට 2004 දක්වා ඇය බිජු ජනතා දාල් පක්ෂයේ නවීන් පට්නායික්ගේ නායකත්වයෙන් යුත් ප්‍රාන්ත සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් ලෙසද කටයුතු කර තිබුණා.
2006 සිට 2009 දක්වා, මුර්මු භාරතීය ජනතා පක්ෂයේ “උපලේඛනගත ගෝත්‍ර” සඳහා වන රාජ්‍ය අංශයේ සභාපතිනිය ලෙසද කටයුතු කර තිබු බව සඳහන්.
2009 දී ඇගේ වැඩිමහල් පුත්‍රයා අද්භූත තත්වයන් තුළ අහිමි වීමත් සමඟ ඇගේ ජීවිතය ඛේදනීය මුහුණුවරක් ගෙන තිබුණා.
වසර කිහිපයකට පසු ඇයට ඇගේ දෙවන පුතා සහ ඇගේ සැමියා ද අහිමි වූ අතර ඉන් මහත් කණගාටුවට පත්ව සියල්ල අත්හැර සිටි ද්‍රෞපදී මුර්මු 2015 දී ඇය අසල්වැසි ප්‍රාන්තය වන ජහර්කන්ඩ් හි පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස පත් වූ බවයි පැවසෙන්නේ.
ඇය 2021 ජූලි දක්වා වසර හයක් එම තනතුර දරා තිබු අතර එම කාලය තුළ තම කාර්යාලය ඕනෑම තරාතිරමක පුද්ගලයකුට විවෘතව තැබීම මහජන ප්‍රසාදය ඉහළ නැංවීමට හේතුවක් වී තිබුණා.
විපක්ෂයේ නායකත්වයෙන් යුත් ප්‍රාන්තයක ආණ්ඩුකාරවරිය ලෙස ඇයගේ ධුර කාලය මතභේදාත්මක නොවූ අතර, ඇයට ආණ්ඩු පක්ෂයේ හොඳ හිත සහ සහයෝගය හිමි වීම විශේෂත්වයක්.
ඔඩිෂා හි රජයේ නීති සම්පාදකයකු සහ ඇමතිවරයකු ලෙස ඉතා පසුගාමී ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට කැප වී ඇය හොඳම කාර්ය සාධනය කරන නීති සම්පාදක සම්මානයද දිනා ගත්තා.
ද්‍රෞපදී මුර්මු ජයග්‍රහණයත් සමඟ රසකැවිලි සහ වර්ණවත් ගෝත්‍රික නැටුම්වලින් සමන්විත සැමරුම් රට පුරා දක්නට ලැබුණේ මෙතෙක් ජනාධිපතිවරයකු පත් වූ අවස්ථාවක දක්නට ලැබුණ උපරිම උත්සවශ්‍රීයත්වය පෙන්නුම් කරමින්.
අගමැති මෝදි ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානී ද මුර්මුට සුබ පැතීමට වහාම පැමිණි අයුරු දක්නට ලැබුණා.
ද්‍රෞපදී මුර්මු කැපී පෙනෙන මන්ත්‍රීවරියක් සහ ඇමතිවරියක් බවත් ඇය ජහර්කන්ඩ් ආණ්ඩුකාරවරිය ලෙස විශිෂ්ට ධුර කාලයක් ගත කළ බවත් ඇය ඉදිරියෙන් සිට ඉන්දියාවේ සංවර්ධන ගමන ශක්තිමත් කරන විශිෂ්ට ජනාධිපතිවරියක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි අගමැති මෝදි ට්වීටර් සටහනක් තබමින් ප්‍රකශ කර තිබුණේ.
ද්‍රෞපදී මුර්මු සිය ජීවිතය කැප කර ඇත්තේ සමාජයට සේවය කිරීමට සහ දුප්පතුන්, පීඩිතයන් මෙන්ම ආන්තිකයන් සවිබල ගැන්වීම සඳහා බව පවසන මෝදි ඇයට පොහොසත් පරිපාලන පළපුරුද්දක් ද කැපී පෙනෙන ආණ්ඩුකාර ධුර සේවා කාලයක් ද ඇති බව සිහිපත් කරමින් කියා සිටින්නේ ඇය ජාතියේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරියක් වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.
ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු පුරවැසියා සහ අන්තිමයා අතර පරතරය පියවීම සඳහා එරට අගමැති මෝදි විසින් “ද්‍රෞපදී මුර්මු ” සංකේතය ජනගත කළේ මෙලෙසින්