ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට(03) යෙදී තිබෙනවා.

1993 වසරේ මැයි මස 3 වනදා, 1992 වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සැමරීම ආරම්භ වුණා.

මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් සහ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම මෙම දිනය නම් කිරීමේ අරමුණ වන බව සඳහන්.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සමරන්නේ 31 වන වරටයි.

1986 වසරේ දෙසැම්බර් 17 වන දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගියෙර්මො කැනෝ ඉසාසා අනුස්මරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය නිදහස සඳහා වූ ත්‍යාගය නම් කර තිබෙනවා.

ඒ අනුව, ගාසා තීරය ආවරණය කරන පලස්තීන මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මාධ්‍ය වෘත්තිකයන්ගේ ජූරි සභාවක නිර්දේශය අනුව 2024 UNESCO/Guillermo Cano World Press Freedom ත්‍යාගලාභීන් ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This