
ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයේ සැසිවාරය අවසන්
විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ(17) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් වුණා.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්රායන් හඳුනා ගත් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණා.
සමාප්ති අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු සහයෝගය අගය කිරීමට ලක් කළා.
ඔහු අවධාරණය කළේ රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරුබදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිදභාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්රයයි.
සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නැවත පෙන්වා දුන් අතර 2027 වන විට 95% ක අනුකූලතාවයකට ළඟා වීමේ ඉලක්කයක් සහිතව වෙළෙඳ පහසුකම් ගිවිසුම ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට දරන උත්සාහයන් ඔහු ඉස්මතු කළා.
වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) පුරාවටම, ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ පැරා-තීරුබදු සිට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි තරඟකාරිත්වය, ආහාර සුරක්ෂිතතාව සහ පුනර්ජනනීය බලශක්තිය දක්වා වූ කරුණු පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තා.