වත්කම් බැරකම් නොදුන් 41 ක ලයිස්තුවක් අල්ලස් කොමිසම එලියට දමයි

වත්කම් බැරකම් නොදුන් 41 ක ලයිස්තුවක් අල්ලස් කොමිසම එලියට දමයි

2024 වසරට අදාලව අල්ලස් හෝ දූෂන චෝදනා කොමිසම විසින් කැඳවනු ලැබූ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ශ්වවල වත්කම් බැරකම් පිළිබඳ දත්ත මේ වනතෙක් ලබාදීමට කටයුතු කර නොමැති පිරිසකගේ නම් ලැයිස්තුවක් එම කොමිසම විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව හිටපු අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙක්, හිටපු ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු ඇතුළු 41ක් තවමත් තම වත්කම් බැරකම් පිළිබඳ දත්ත ලබා නොඳුන් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

කෙසේ වෙතත් එම ලැයිස්තුවේ නම් ඇතුලත් හිටපු අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාගවන් යන මහත්වරුන් පවසන්නේ අදාල පුවත අසත්‍ය බවයි.

2024 වසරට අදාලව වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර නොදුන් දේශපාලනඥයින් ඇතුළු පිරිසකගේ නම් ලයිස්තුවක් අල්ලස් කොමිසම සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම දත්තවලට අනුව 2024 වසරට අදාලව අල්ලස් කොමිසම විසින් කැඳවනු ලැබූ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශ ලබා නොදුන් 41 දෙනෙකු සිටින බව අල්ලස් කොමිසම විසින් නිකුත් කල දත්ත වාර්තාවේ සඳහන් වනවා.

අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද එම දත්ත වාර්තාවට අනුව මෙතෙක් තම වත්කම් බැරකම් පිළිබඳ දත්ත ලබා නොදුන් අමාත්‍යවරයා වන්නේ හිටපු ධීවර අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද මහතායි.

එමෙන්ම වත්කම් බැරකම් පිළිබඳ දත්ත ලබා නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් අතරට දිවංගත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , තාරක බාලසූරිය , ශාන්ත බණ්ඩාර , කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන් රාගවන් යන අයද ඇතුළත්.

අල්ලස් කොමිසම වෙත වත්කම් බැරකම් පිළිබඳ දත්ත ලබා නොදුන් හිටපු ආණ්ඩුකාරවරුන් සිව්දෙනා වන්නේ හිටපු ආණ්ඩුකාර මාර්ශල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක සහ හිටපු ආණ්ඩුකාර විලියම් ගමගේ යන අයයි.

කෙසේ වෙතත් වත්කම් බැරකම් පිළිබඳ දත්ත ලබා නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් අතරට අල්ලස් කොමිසම විසින් තම නම ඇතුළත් කිරීම වැරදි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අවධාරණය කළා.

කෙසේ වෙතත් ෆේස් බුක් සටහනක් තබමින් සුරේන් රාගවන් මහතා සදහන් කරන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ තමා ඉදිරිපත් නොකල බවට පලවූ පුවත අසත්‍ය බවයි.

අදාල ප්‍රකාශ ඉදිරිපත් කළ බවට තහවරු කරමින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා නිකුත් කළ ලිපියක් ද අදාල ෆේස්බුක් සටහනට සුරේන් රාගවන් මහතා විසින් මෙලෙස එක්කර තිබුණා.

Share This