වසර 24 කට පසු මංකොල්ල සිද්ධියකින් හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා නිදහස්

වසර 24 කට පසු මංකොල්ල සිද්ධියකින් හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා නිදහස්

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ හලකට කඩා වැදී රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000/- ක වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා වසර විසි හතරක දිර්ඝ නඩු විභාගයකින් පසුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය තීන්දු කළා.

දීර්ඝ විභාගයකින් අනතුර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (24) මෙම තීන්දුව ලබා දුන්නා.

මෙලෙස නිදහස් කිරීමට නියම කළේ හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වන උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක සහ ඔහුගේ පුද්ගලික රියැදුරු වන ඉලංග ශිරාන් යන දෙදෙනායි.

තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරුවන්ට එරෙහිව ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට චෝදනා ඉදිරිපත් කර තිබුණද ජංගම දුරකතනයක් පිළිබඳව කිසිදු සාක්ෂිකරුවකුගෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බවත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් පැවසුවා.

මෙම සිද්ධියට සම්බන්ධ ගිනි අවිය වායු රයිෆලයක් බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර තිබියදී නීතිපතිවරයා විසින් ගිනි අවි පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී රම්බෝ පිහියක් සහ ගිනි අවියක් පෙන්වා එහි සිටි සෙල්වරාජා සිවකුමාර් නමැත්තකුගේ රුපියල් 20,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබුණා.

2023 වසරේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ ගිනි අවි චෝදනාව ඉවත් කරගනු ලැබු අතර ඉන් පසුව සංශෝධිත චෝදනා පත්‍රයක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණා.

ඉන්පසුව පැවැත්වුණු නඩු විභාගයකින් අනතුරුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

Share This