වැටලීමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුළ අතරමං වෙයි
නුවරඑළිය මහඑළිය රක්ෂිතයේ වැටලීමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුළ ඊයේ (16) අතරමං වී ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරි සුජිත් අජන්ත මහතා පවසනවා.
අදාළ අඩවි ආරක්ෂක නිලධාරින් පිරිස අද (17) දින උදෑසන නිරුපද්‍රිතව සොයා ගැනිමට හැකි වූ බවයි ඒ මහතා සඳහන් කළේ.
එම රක්ෂිතය තුළ කාලයක් තිස්සේ සිදු කෙරෙන බවට පැවසෙන අනවසර මැණික් ගැරීමක් වැටලීමට නුවරඑළිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් 15 දෙනෙකු සහ හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් 06 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු ඊයේ (16) දින උදැසන මෙහෙයුම සදහා මාර්ග දෙකක් ඔස්සේ රක්ෂිතය තුලට ඇතුල්වී තිබෙනවා.
හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ වත්ත ප්‍රදේශයෙන් රක්ෂිතය තුළට ඇතුල් වී ඇති අතර , අනෙකුත් නිලධාරින් පිරිස බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුල් තිබුණා.
ඊයේ (16) දින පස්වරුවේ රක්ෂිත තුළට ඇද හැලුණු අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් දුරකථන සංඥා අවහිර වීමෙන් එම නිලධාරින් පිරිස රක්ෂිතය තුල (16) දින රාත්‍රිය ගත කර අද දින (17) දින අලුයම බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ ප්‍රදේශයෙන් උදැසන 9 ට පමණ පිටතට පැමිණි බවයි හැටන් වන අඩවි ආරක්ෂක සුජිත් අජන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම වැටලීමේදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකි වූ බවහැටන් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා ප්‍රකාශ කළා.