වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතකයා හරහා පොලීසිය රහස් රැසක් එළිකරගනී (VIDEO)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතකයා හරහා පොලීසිය රහස් රැසක් එළිකරගනී (VIDEO)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියේ වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ සමත් වුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ඩුබායි ලොක්කාගෙන් ලද රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත සැකකරු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉකුත් 22 වැනිදා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ හක්මන පරනලියනගේ නුවන් තාරක නැමැත්තා මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

ඝාතනය සඳහා වෙඩික්කරු සහ ඔහුගේ සගයා යතුරුපැදියකින් පැමිණ තිබූ අතර ඔවුන් රොටුඹ අමිල සහ මිදිගම රුවන් නැමැත්තන්ගේ සගයින් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඩුබායි ලොක්කාගෙන් ලද රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත අදාළ ඝාතනය සැලසුම් කර ඇති අතර, ඝාතනයට පෙර දින රුපියල් ලක්ෂ 12 ක් සැකකරුට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසුව සැකකරු ත්‍රිරෝද රථ හරහා මාතර, අකුරැස්ස, යක්කලමුල්ල, අම්බලන්තොට යන ප්‍රදේශවලට ගොස් ඇති අතර අම්බලන්තොට ප්‍රදේශයේ දී සැකකරු ජංගම දුරකථනයක් ද මිලදී ගෙන තිබෙනවා.

එම සෑම අවස්ථාවකදීම ඔහු රුපියල් 5000 නෝට්ටු භාවිත කර ගෙවීම් සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පසුව අනාවරණය වූයේ සැකකරු කැකිරාව ප්‍රදේශයට ද ගොස් ඇති බවටයි.

සිද්ධියට අදාළව කැකිරාව ප්‍රදේශයේද විමර්ශන අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර එම මෙහෙයුම්වලදී නිවසක රැඳී සිටි කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු යතුරුපැදියක්, රුපියල් ලක්ෂ12 ක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටි එක් අයෙකු පලා ගොස් තිබූ අතර ඔහු වැලිගම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටයි පොලිසිය සැක පළ කළේ.

පසුව අනාවරණ වුනේ පලාගිය අදාළ සැකකරු ඩුබායි සුද්දා නැමැත්තාට දුරකථන ඇමතුමක් දී තමන් සහ තමන්ගේ සහයකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇති බව දන්වා ඇති බවටයි.

ඒ අනුව පොරොන්දු වූ මුදලින් තවත් ලක්ෂ එක හමාරක් ලබාදීම සඳහා කොළඹට පැමිණෙන ලෙස ඩුබායි ලොක්කා විසින් වෙඩික්කරුට පවසා ඇති අතර එම උපදෙස් මතයි සැකකරු කොළඹට පැමිණ ඇත්තේ.

සැකකරු කොළඹ, පිටකොටුව ආශ්‍රිතව ගැවසෙමින් අයිස් මත්ද්‍රව්‍ය සොයා ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරුට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර ඔහු කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණ බස් රථයක නැගී කොට්ටාව බලා ගොස් තිබෙනවා.

අනතුරුව සැකකරු කොට්ටාව ප්‍රදේශයේ මාකුඹුර අධිවේගී පිවිසුමෙන් මාතර දක්වා ගමන් කිරීමට අදහස් කර ඇතත් එය ව්‍යර්ථ වී ඇත්තේ ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරු දකුණු පළාතට යළි නොයන ලෙස දුන් උපදෙසක් හේතුවෙන් බවටයි පොලිසියට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ සැකකරු යළි බස් රථයක නැගී මහරගම ප්‍රදේශයට පැමිණ එම ප්‍රදේශයේ පැය කිහිපයක්ම ගත කර තිබෙනවා.

ඒ අතර සැකකරු තමන් මෙතක් භාවිත කළ දුරකථනය වෙනුවට වෙනත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට නාවින්න ප්‍රදේශයේ පිහිටි දුරකථන වෙළඳසැලක් වෙතද ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අතරතුරදී සැකකරුට විදෙස් රටකින් දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර එහිදී මහරගම නාවින්න ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට කසල බහාලුම් බඳුනක රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් සඟවා ඇති බවත් එම මුදල ලබා ගන්නා ලෙසටත් ඔහුට උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව වෙඩික්කරු නාවින්න බස් නැවතුම්පොළ අසලට පස්වරු 6.30 ට පමණ පැමිණ යළි ත්‍රිරෝද රථයකින් මහරගම නගරයට ගොස් බස් රථයක නැගීම සඳහා යමින් සිටි අවස්ථාවේදී තොරතුරු තාක්ෂණ කොට්ඨාසය ලද දත්තවලට අනුව විශේෂ මෙහෙයුමේ යෙදී සිටි නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය පසුපස හඹා ගොස් තිබුණා.

සැකකරු අදාළ ත්‍රිරෝද රථයෙන් පැන හයිලෙවල් මාර්ගයේ මීටර් 600 ක් පමණ කොළඹ දෙසට දිවගියත් සැකකරු පසු පස හඹා ගිය විමර්ශන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට ඊයේ පස්වරුවේ සමත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ සෙසු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි.

Share This