වැව්බැඳි රටට අභිමානයක් වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 75 වන සංවත්සරය සමරයි
උතුරු මැද පළාතෙහි ජය ජය දද නංවන ශිල්ප ශාලිකාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 2022 ක් වූ ජූලි මස 21 දින සිය 75 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලබනවා.
4107 ක් වූ ශිෂ්‍ය ප්රජාවකගෙන් හා 197ක් පමණ වූ ඇදුරු මඩුල්ලකින් සමන්විත, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ වර්තමාන නියමු භූමිකාව හෙවත් විදුහල්පති තනතුර හොබවනු ලබන්නේ පර්සි මහානාම ජයසුන්දර මහතා විසින්.
මේ වන විට මෙම පාසලේ 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර, 2018 වසරේ සිට ආරම්භ කරන ලද 13 වසරක අධ්‍යාපන වැඩසටහනට (වෘත්තීය අංශය) අදාළව සිප් සතර හදාරණ නැණ, ගුණ සපිරි දරුවෝ විවිධ මං ඔස්සේ කිත් යසස් පතුරමින් මධ්‍ය විද්‍යාල නාමය මෙරට පමණක් නොව ලොව පුරා පතුරවමින් උපන්බිමට කෘතගුණ දක්වනවා.
1940 දශකයේ දී අධ්‍යාපන ඇමති වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ උදාර සංකල්පයකට අනුව දැයේ දූ දරුවන්ට දායාද කළ නිදහස් අධ්‍යාපන සංකල්පය මල්ඵල ගැන්වීමේ තවත් එක් පියවරක් ක්‍රියාත්මක වුණා.
එනම් කුසලතා පූර්ණ ගැමි දරුවන්ට නිදහස් අධ්‍යාපන වරම් භුක්ති විඳීමට දිවයිනේ සතර දිග් භාගයේ මධ්‍ය විද්‍යාල නමින් අංග සම්පූර්ණ අධ්‍යාපන ආයතන පිහිටුවීමට එතුමා තීරණය කිරීමයි.
1943 – 1947 යන කාල වකවානුවල ශ්‍රී ලංකාව පුරා මධ්‍ය විද්‍යාල 54ක් බිහිවූ අතර, ඒ අතරින් රජරට දරුවන්ගේ අනාගත මංපෙත් විවර කරනු වස්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය 1947 ඇසල මස 21 දින දැනට රත්මලේ තිස්ස මහා විද්‍යාලය පවත්වන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලක ගුරුභවතුන් තුන් දෙනකුගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැත්තෑ දෙනකුගෙන් යුතු ව ආරම්භ වී තිබෙනවා.
මුල් කාලයේ දී සන්ධ්‍යා කාලීන ද්වි භාෂා පාසලක් ලෙස 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති පවත්වාගෙන ගොස් ඇත.
එහි ආරම්භක විදුහල්පති ලෙස ආර්. එස්. එල්. ද සොයිසා මහතා සේවය කර ඇත.
පසුකාලීන ව වර්තමානයේ සාලියපුර වැඩිහිටි නිවාසය පවත්වන ස්ථානය වෙත ගෙන යනු ලැබූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කෙටි කලක් එහි පවත්වාගෙන යනු ලැබුවා.
පසුව අනුරාධපුර නව නගරය සැලසුම් කරන අවස්ථාවේ දී එවකට පළාත් පාලන ඇමති ව සිටි ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නව නගර මධ්‍යයේ ඉතා දර්ශනීය අක්කර 15 ක භූමි භාගයක් මෙම පාසල සඳහා වෙන් කරන ලද අතර, එවකට අධ්‍යාපන ඇමති තනතුරේ සිටි ඊ. ඒ. නුගවෙල මැතිතුමා විසින් මුල්ගල තබන ලදී. ඒ අනුව වර්තමානයේ දී පාසල පවතින ස්ථානයේ මෙම විද්‍යාලය ආරම්භ කර තිබෙනවා
ඒ අනුව 1952 නවම් මස 09 වන දින පහසුකම් සහිත අංග සම්පූර්ණ වර්තමාන මධ්‍ය විද්‍යාලය ආරම්භ විය. එහි ඉදි වූ ගොඩනැගිලි අතරට විද්‍යාගාරය හා නේවාසිකාගාර දෙක ද ඇතුළත් විය. ආරම්භක විදුහල්පති ධූරය දරන ලද්දේ ඊ .ආර්. එරන්ත මැතිතුමා විසින්.
ආරම්භක යුගයේ සිට මේ දක්වා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති වරු 34 දෙනෙකු සේවය කර ඇති අතර, එකී වකවානුවල එම විදුහල්පතිවරුන් පාසලේ අධ්‍යාපනික සංවර්ධනයට මෙන් ම බාහිර සංවර්ධනයට ද උර දී ක්‍රියා කරමින්, පාසලේ උන්නතිය සඳහා තම උපරිම දායකත්වය ලබා දී මැදි මාතා නාමය බැබළවීමට සිය උපරිම දායකත්වය නො මසුරුව ලබා දී තිබෙනවා.
1960 දශකයේ දී අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සිදුවූ කැපී පෙනෙන සුවිශේෂී සිදුවීම් වූයේ පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන්ට මෙම විදුහලේ අධ්‍යාපන දොරටු විවර වීමයි.
1990 දශකයේ දී, එනම් 1993.05.25 දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට නීතිගත වී තිබෙනවා.
. අධ්‍යාපනික අරමුණු ඉටු කිරීම පමණක් නොව, සහජ දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කිරීමට ද මැදි විදුහල් මාතාවට හැකි වී තිබේ. පාසල් කාලය තුළදී ම සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප්නැංවීමට සහ ක්රමානුකූල පුහුණුවක් ලබාදීම සඳහා රජයේ අනුග්‍රහය මත ක්‍රීඩා පාසල් සංකල්පය යටතේ 1977 වසරේදී සහජ දක්ෂතා ඇති සිසුන් හතළිහක් හා ගුරු මහත්ම මහත්මීන් පස් දෙනෙකුගේ උපදේශකත්වයෙන් යුතු ක්‍රීඩා පාසලක් ද මෙහි ආරම්භ වූ බව සඳහන්.
අද වන විට විද්‍යා, ගණිත, කලා, වාණිජ, සෞන්දර්ය, කෘෂි විද්‍යා හා දහතුන් වසරක අධ්‍යාපන වැඩසටහන මෙම විද්‍යාලයේ ඉගෙනුම් පද්ධතියට එකතු වී නව වැඩ ලොවට ගැලපෙන වෘත්තීය අධ්‍යාපන සමතුන් බිහිකිරීම ද මධ්‍ය විද්‍යාලයේ කැපීපෙනෙන ප්‍රවණතාවක් වී ඇත.
2022 වර්ෂය වන විට මෙම විද්‍යාලයේ විද්‍යා, ගණිත පන්ති “ස්මාර්ට් පන්ති “බවට පත්ව, දරුවන්ට නව ලෝකය හා එක්ව යන ගමනට මංපෙත් විවර වී තිබෙනවා.
“අසමු දරමු හැසිරෙමු “යන ආදර්ශ ආදර්ශ පාඨයට අනුව යමින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය මෑත ඉතිහාසය විසින් බිහි කළ කීර්තිමත් ආදි විද්‍යාර්ථීන් අධ්‍යාපන, වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන, ත්‍රිවිධ හමුදා, පොලීසිය, සාහිත්‍යය, දේශපාලන, ව්‍යාපාරික, ක්‍රීඩා ආදී නන්විධ ක්ෂේත්රයන්හි දිදුලන නාමයන් සනිටුහන් කළ බව නො රහසක්.
අනුරාධපුර මැදි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ වූයේ 1980 වර්ෂයේ ඔක්තෝබර් මස 25 වැනි දිනකදියි
එවකට පාසලේ සිටි විදුහල්පති ඩබ්ලිව් අබේනායක මහතා ආදි ශිෂ්‍ය සංගමයක් බිහි කිරීමට මූලිකත්වය ලබා දෙන ලදී. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පාපැදි මගින් ගෙන් ගෙට ගොස් ආදී විද්‍යාර්ථීන් එකරාශී කරමින් අද පවතින තත්වයට ගොඩනැගී ඇත,
2022 ජූලි මස 21 දින සිය 75වන සංවත්සරය සමරන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා ප්රමුඛ නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) සෙනරත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී) ආනන්ද හෙට්ටිආරච්චි මහතා, නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන) ගාමිණී දිසානායක මහතා, නියෝජ්‍ය විදුහල්පතිනිය රේණුකා සමරසිංහ මහත්මිය, සහකාර විදුහල්පතිවරුන් ඇතුළු 196 ක් වූ ගෞරවනීය ඇදුරු මඩුල්ල අද දවසේ 4107ක් වූ දූ දරුවන් පිරිසකට “දුෂ්කරය කියා ජීවිතය හැර යා යුතු නොවන බවත්, හෙට මලක් පිපීමට නම් අද දවසේ කටු පොකුරු සිප ගත යුතු බවත් ” ආදර්ශයෙන් පෙන්වා දෙමින්, නැණ, ගුණ සපිරි දිරිය දරුවන් රටට, ජාතියට දායාද කරන මැදි මාතාවගේ මල් කැකුළු හෙට දවසේ විකසිත ව මුළු ලොව සුවඳවත් කරනු ඇත.