විත්ති කූඩුවට නගින්නැයි හිටපු ජනපති මෛත්‍රීට අවවාද (VIDEO)

විත්ති කූඩුවට නගින්නැයි හිටපු ජනපති මෛත්‍රීට අවවාද (VIDEO)

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වූ බවට පවසමින් ගොනු කර ඇති නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නො නැඟීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවවාද කරනු ලැබුවා.

එහිදී නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා විත්තිකුඩුවෙන් පිටත රැඳි සිටීම පිළිබඳව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා අවධානය යොමු කරමින් සිය විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ එකී නඩුවට අදාළව අභියාචනාධිකරණය විසින් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් අත්හිටුවා ඇති මොහොතක තම සේවාදායකයා විත්තිකුඩුවට නැගීමක් සිදු නොකළ බවයි.

අභියාචනාධිකරණය මඟින් තම අධිකරණයට නියෝගයක් නිකුත් කර එම සැකකරුට චෝදනා පත්‍රය කියවාදී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැලැක්වීමක් මිස ඔහුට විත්තිකුඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බව පෙන්වා දුන්නා.

එමෙන්ම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශ කර නැවත අඩගහන ලෙස අධිකරණ භාෂා පරිවර්ථකයා වෙත නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව දෙවන වර නඩුව කැඳවීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා විත්තිකුඩුවට නැගීමක් සිදුකර තිබෙනවා.

අනතුරුව එකී නඩුව ලබන මාර්තු 17 වැනිදා දක්වා කල් තැබීමට කටයුතු කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

 

Share This