
විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන් ගේ අභියාචනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ දින දෙයි
2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබුවා.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබාගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නා.
ඒ අනුව විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.
2015 වසරේ මාර්තු මස 3 වැනිදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබුවා.