විදුලි වෘත්තීය සමිති දණ නමනවාද? නැද්ද තීරණය අද දහවල්

විදුලි වෘත්තීය සමිති දණ නමනවාද? නැද්ද තීරණය අද දහවල්

තම ගැටලුවලට නිසි විසඳුමක් නොමැබීම නිසා අද (24) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත අකුරට වැඩ කිරීමේ විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

කෙසේ වෙතත් විදුලි වෘත්තීය සමිතිවල අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට සූදානම් කර ඇති බවටයි විදුලි වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදය ඇතුළු කරුණු 24 ක් මුල් කර ගනිමින් විදුලි සේවකයන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර අදට දින 20ක් ගත වනවා.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් දින 2ක අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද ඔවුන් කටයුතු කළේ සිය ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන්.

විදුලි වෘත්තිය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණද සාර්ථක ප්‍රතිඵල අත්නොවීම හේතුවෙන් විදුලි වෘත්තීය සමිති විසින් ප්‍රසම්පාදන හා ලේඛනවලට අදාළ රාජකාරි කටයුතුවලින් ද වැළකී සිටීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

එවන් පසුබිමකයි විදුලිබල සැපයීම සම්බන්ධ සියලූ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ.

එම ගැසට් නිවේදනය ප්‍රකාරව විදුලිබල මණ්ඩලයේ සියලූ සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බවට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිත දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා.

මේ අතර තම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කල අතර ඉදිරි පියවර සම්බන්ධයෙන් අද දහවල් රැස්වී තීරණය කරන බවටයි විදුලි ව්ෘත්තිය සමිති ප්‍රකාශ කළේ.

 

Share This