විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කිරීම රජයේ ස්ථාවරත්වය බව ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

ජනාධිපතිවරයා සඳහන් කළේ රජයට අවශ්‍ය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයේ පවතින වියවුල්භාවය නිරාකරණය කර ගනිමින් විධිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම බවයි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවත්, නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දී තිබෙනවා.

එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම, නව ආයතන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලෙස විසඳිය යුතු ගැටලු විසඳා අවසන් කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා අවධාරණය කළේ ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවයි.

වඩා කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවගේ විදුලිබල අවශ්‍යතාව සපුරාලිය හැකි නම් එය රජයේ මෙන්ම සේවකයන්ගේද ජයග්‍රහණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දුන්නා.

නව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

 

Share This