විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා සංචාරය නිම කරයි

විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා සංචාරය නිම කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය 8 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුර රජයේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජිනීවා සංචාරය අවසන් කළා.

දේශීය ක්‍රියාවලීන් හරහා සංහිඳියාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පරිවර්තනයන් වෙනුවෙන් රජය දැනටමත් ගෙන ඇති පියවර අමාත්‍ය හේරත් මහතා එහිදී අවධාරණය කළා.

විදේශ අමාත්‍යවරයා තවදුරටත් කටයුතු කළේ බාහිරව පනවා ඇති යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකාවේ විරෝධය පළ කිරීමටයි.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රට තුළ ගෙන ඇති පියවර ඉදිරියට ගෙන යාමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයට ලබාදිය හැකි සහයෝගීතාවය සහ සහාය පිළිබඳව අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ද හමුවී දැනුම් දීමට කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන්, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික, සමාජීය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු සියලුම මානව හිමිකම් ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට ද කටයුතු කළා.

එහිදී අමාත්‍ය හේරත් මහතා කවුන්සිලයට කළ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව තවදුරටත් යාවත්කාලීන කිරීම් ලබාදුන් අතර, ඒවා සම්පූර්ණ කිරීම දක්වා රජයට ගෙනයාමට කාලය සහ අවකාශය අවශ්‍ය බව නැවත අවධාරණය කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සහ රජය විසින් සපයන ලද පහසුකම් සඳහා මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය ගැඹුරු කෘතඥතාව පළ කර තිබෙනවා.

මෙහිදී මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ස්විට්සර්ලන්ත තානාපති ජර්ග් ලාබර් මහතා ද අමාත්‍ය හේරත් මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

 

Share This