වෙළෙඳ ප්‍රජාවට සහ ජනතාවට ‘සමාන ලෙස ප්‍රතිලාභ දෙන කාලය ගැන’ මහබැංකුව කියයි

වෙළෙඳ ප්‍රජාවට සහ ජනතාවට ‘සමාන ලෙස ප්‍රතිලාභ දෙන කාලය ගැන’ මහබැංකුව කියයි

රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට වෙළෙඳ ප්‍රජාව හා සම්බන්ධ විවිධ පාර්ශ්ව මතුකරන අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය විදේශ විනිමය බැංකු පද්ධතිය තුළින් සපයා ගැනීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී, විවෘත ගිණුම් ක්‍රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්‍රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්‍යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 වැනි දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ බවයි.

මෙම ක්‍රියාමාර්ගය, දේශීය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග සමග සම්බන්ධ වන බවද මහ බැංකුව පෙන්වා දෙනවා. ඒ අනුව, ඉහත සඳහන් කළ ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට වෙළෙඳ ප්‍රජාව හා සම්බන්ධ විවිධ පාර්ශ්ව අදහස් මතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම පසුබිම යටතේ, ඉදිරි කාලය තුළදී ආහාර ද්‍රව්‍යද ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව සිය කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.

තවද ගෙවීමේ ක්‍රම මත පනවා ඇති සීමා නිසා, ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන බව සහ අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ට බාධා ඇතිවීමක් නොවන බව තහවුරු කිරීම සඳහා දැනට ගනිමින් පවත්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කරුණු දක්වනවා.

ඒ අනුව, මහ බැංකුව, බැංකු ප්‍රජාව සමග අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පහසුකම් සැලසීම සහතික කිරීම සඳහා අඛණ්ඩ සංවාදයක නිරත වන බවත්, ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ විනිමය අනුපාත නිර්ණය කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීමෙන් පසුව අවිධිමත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවත් පෙන්වා දෙනවා.

එසේම, මහ බැංකුව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන වෙළෙඳ සංගමය සහ අනෙකුත් පාර්ශ්ව සමග මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, දැනට වෙළෙඳපොළෙහි ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය සහ ඉදිරි කාලයේදී ඒවායේ මාසික අවශ්‍යතා හඳුනාගැනීම පිළිබඳ මූලික තක්සේරුවක් සිදුකෙරන බවද සඳහන්.

එමෙන්ම, ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයන්, ඉන්දියානු ණය පහසුකම යටතේ සිදුකෙරෙන වැඩසටහන්ද ඇතුළුව ක්‍රියාත්මක වන බවද පවසා සිටී.

මීට අමතරව, මහ බැංකුව, රේගුව, වෙළෙඳ අමාත්‍යංශය සහ අනෙකුත් ආයතන එක්ව රේගුව තුළ පවතින ආනයනය කළ භාණ්ඩ මුදාහැරීමේ කටයුතු සිදුකරමින්, ප්‍රමුඛතාවක් ලෙස භාණ්ඩ තොග වෙළෙඳපොළට නිකුත් කිරීමද සිදුකළ හැකි බවද පෙන්වා දෙනවා.

මෙම අභියෝගාත්මක තත්ත්වය යටතේ වගකීමෙන් ක්‍රියාකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවත්නා තත්ත්වය යටතේ වෙළෙඳ ප්‍රජා මට්ටමින් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආනයනය කිරීම සහ තොග ගොඩගැසීම මෙන්ම, පාරිභෝගික මට්ටමින් ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී තබා ගැනීමද නුසුදුසු බව පෙන්වා දෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා පවතින සීමිත විදේශ විනිමය ප්‍රමාණ්‍ය යොදාගැනීම සම්බන්ධයෙන් රට මුහුණ දී ඇති බාධාවන් සැලකිල්ලට ගෙන, අඩු විදේශ විනිමය ද්‍රවශීලතාව මනාව කළමනාකරණය කිරීම ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යුතුකමක් බවද මහ බැංකුව පවසනවා.

නමුදු රට නැවත ශක්තිමත් ස්ථාවරයකට පැමිණි පසු සහ විදේශ අංශයේ පීඩනයට ඔරොත්තු දීමට හැකිවූ පසු, ඉදිරි කාලය තුළදී වෙළෙඳ ප්‍රජාවට සහ සාමාන්‍ය ජනතාවට සමාන ලෙස ප්‍රතිලාභ හිමිවනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Share This