ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවාවන් විධිමත් කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවාවන් විධිමත් කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අද (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳව, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, ‌සවස් කාලයේ ගාස්තුවලට යටත්ව ලබාදෙනු ලබන විහේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිම සහ රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබදව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ රෝහලේ ඉහත අවශ්‍යතාවයන් පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් එම සේවාවන් කඩිනමින් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන් බව සඳහන්.

රෝහලේ දැක්මට අනුව වසර 2030 වනවිට දකුණු ආසියාවේ විශිෂ්ට ප්‍රමුඛතම තෘතියික සෞඛ්‍ය සත්කාරක සපයන්නා බවට රෝහල පත් කිරිමට සියළු කාර්ය මණ්ඩලය හා වෘත්තිය සමිති එක්ව සහයෝගය ලබාදෙන ලෙස සියළු කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Share This