ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු ගිවිසුම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු ගිවිසුම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණු අතර ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණියා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ වුණා.

මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවූ බවයෝ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළා.

මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූ අතර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවෘත කරනු ලැබුවා.

මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු වුණා.

Share This